Saturday, October 19, 2024
Follow Us
2024 මුල් මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා

පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව  මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින්  පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 

රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව හෙතෙම අවධාරණය කරයි. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. 

මෙමගින් මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන 31ක් සඳහා සහතික හිමි වන අතර ඔවුන්ගේ ආනයන සහ අපනයන කටයුතු රේගු පරීක්ෂණවලින් බැහැරව සිදු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා වෙයි. 

වසර ගණනාවක් ඔවුන්ගේ ආනයනය සහ අපනයනය පිළිබඳ සිදුකළ අධීක්ෂණයකින් පසුව අදළ සමගම් වෙත මෙම සහතිකය ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවක දී ම රජය විසින් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. 

2024 වසරේ දී ලබා දී ඇති රුපියල් බිලියන 1537 ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් සම්පූර්ණ කිරීමට ඔවුන් මේ  වන විටත් සමත් ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙන්නේ රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන  රථ වාහන ආනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කළේ. 

අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ 2018 වසරේ දී රුපියල් බිලියන 923ක් වූ සමස්ත ආදායමෙන් බිලියන 204ක් හෙවත් 22%ක් රථවාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

2019 වසරේ සමස්ත ආදායමෙන් 16%ක් හෙවත් රුපියල් බිලියන 130ක් රථවාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.