Saturday, October 19, 2024
Follow Us
2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එසේම 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා මෙසේද පැවසීය.

කොළඹ වරායේ මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව මම මුලින්ම සඳහන් කිරීමට කැමතියි. 2024 වසර තුළ කොළඹ වරාය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප මේ ප්‍රගතිය ලබා ගත්තේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුවන අතරතුරයි. නමුත් ඒවා අපගේ කටයුතු සඳහා කිසිදු බාධාවක් වූයේ නැහැ. 2023 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ලාභයක් වාර්තා කළ අතර 2024 වසරේ පළමු කාර්තුවේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ලබා තිබෙනවා.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්ත හතරම දායක වී තිබෙන බව කිව යුතුයි. මෙම පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා. ඒ අනුව ECT හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 2025 පෙබරවාරියේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම නැගෙනහිර පර්යන්තය සහ උතුරු වරාය සංවර්ධන කටයුතුද සිදු කෙරෙනවා.

එසේම ත්‍රිකුණාමලය, ගාල්ල, කන්කසන්තුරය යන වරායවල සංවර්ධන කටයුතු ද සිදු කරමින් තිබෙනවා. ඒ වගේම කන්කසන්තුරය වරායේ අලුතින් ඉදිකරන ලද පර්යන්ත ගොඩනැඟිල්ල තොටුපළ මෙහෙයුම් සඳහා යොදා ගනිමින් සෑම සිකුරාදාවකම ඉන්දියාවේ සිට මගී යාත්‍රා සේවයක් ක්‍රියාත්මක වේ.

එසේම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වසරට සාපේක්ෂව 25%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. මෙහිදී මගී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර 2023 වසරේ 36ක් වූ ගුවන් සේවා පැමිණීම් 2024 වසරේ ජූලි මාසය වන විට 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පුද්ගලික) සමාගමේ සභාපති අතුල ගල්කෙටිය මහතා,

2024 වසරේ ජූලි මාසය වන විට ජාත්‍යන්තර මගී සංචලන මිලියන 4.3ක් සිදු වී තිබෙනවා. ඉදිරි මාස හය අවසන් වන විට එම සංඛ්‍යාව මිලියන 9ක් පමණ වනු ඇති බව අප විශ්වාස කරනවා. එම සංඛ්‍යාව 2023 ජූලි මාසය හා සංසන්දනය කරන විට 26.10%ක වර්ධනයක් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් සංචලන ප්‍රමාණයද 2023 වස‍රේ ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූනි මාසය වන විට 24.50%කින් ඉහළ ගොස් තිබෙනවා. තවද එම කාල පරාසය තුළ ගුවන් භාණ්ඩ සංචලන ප්‍රමාණයත් 28.96%කින් වැඩි වී තිබෙනවා.

අපගේ පර්යන්තය මඟින් 2018 වසරේදී ගුවන් මගීන් මිලියන 10.8 ක් පමණ හසුරුවා තිබෙනවා. නමුත් පහසුකම් සැලසීමේ ගැටළු කිහිපයක් තිබෙනවා. එම නිසා මගීන් මිලියන 8ක් 9ක් සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් කෙටි කාලීන සහ දිගු කාලීන පියවර රැසක් මේ වන විට ගනිමින් තිබෙනවා.

පළමු වැන්න අතුරු පර්යන්තයෙන් පිටත්වීමේ ප්‍රදේශය වැඩි දියුණු කිරීම සඳහා ටෙන්ඩරය සැලසුම් කර තිබෙනවා. බොහෝ විට ලබන මාසය වන විට එම ටෙන්ඩරය ලබා දෙනු ඇතියි.

එසේම නව ගොඩනැගිල්ලක ඉදි කෙරෙන පිටවීමේ ප්‍රදේශයේ ( Departure Area) තවත් කවුන්ටර් 30ක් ඇති කිරීමත්, පැමිණීමේ සහ පිටවීමේ ඊ- ගේට්ටු 4 බැගින් ඉදි කිරීමත් සිදු වෙනවා. එයින් ආගමන හා විගමන කටයුතු වේගවත්ව කටයුතු සිදු කර ගත හැකියි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා යෝජිත දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මණින් නැවත ආරම්භ කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒ පිළිබඳව මේ වන විට අප JICA ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් අපට පොරොන්දු වූ පරිදි ලබන මාසය වන විට අවශ්‍ය ණය පහසුකම ලබා දෙනු ඇතියි. සැප්තැම්බර් මාසයේ මැද වන විට ටෙන්ඩර් නිකුත් කර ලබන වසරේ මැද භාගය වන විට ඉදිකිරීම් ආරම්භ කර 2028 අවසානය වන විට එය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් තවත් මගීන් මිලියන 9 කට පමණ පහසුකම් සැපයීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ අතර වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් අප හැර යාම රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙනවා. කෙසේ වුවත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ රට හැර ගොස් තිබෙන බව පැවසිය යුතුයි. එම නිසා ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට අප 25කට වඩා වැඩි කණ්ඩායමක් බඳවාගෙන ඇති අතර, ඔවුන් පුහුණු කර, රාජකාරි සඳහා අනුයුක්ත කර තිබෙනවා. එසේම තවත් කණ්ඩායමක් සඳහා අප අයදුම්පත් කැඳවා තිබෙන බව සඳහන් කළ යුතුයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය, ශ්‍රී ලංකි වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේසිංහ යන මහත්වරුන් ඇතුලු වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.