Sunday, October 27, 2024
Follow Us
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස්

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත උපදෙස් ලබාදී තිබේ.

තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (04) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී ය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිතුමාගේ එම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබෙන අතර එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

(LNW)