Sunday, October 27, 2024
Follow Us
රටට ඩොලර් අද්දවන වැඩසටහනක් ධම්මික පෙරේරා ආණ්ඩුවට පෙන්වයි

මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ හැකි නව වැඩසටහනක් පිළිබඳ යෝජනාවලියක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ගෝල්ඩන් පැරඩයිස් ප්‍රෝග්‍රෑම් ලෙසයි. විදේශිකයින් සඳහා මෙම අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇති අතර ඒ සදහා ඔවුන් විසින් සපුරා ලිය යුතු සුදුසුකම් කිහිපයක් යෝජනාවලියේ දක්වා තිබෙනවා.

ඒ අනුව අදාළ වැඩසටහන සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන විදේශිකයෙකු පළමුව මෙරට බැංකු ගිණුමක් විවෘත කර එහි අමෙරිකානු ඩොලර් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ යුතුයි. වසරක කාලයකින් පසු ගිණුම් හිමියාට අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් අදාළ ගිණුමෙන් ආපසු ලබාගත හැකියි.

කෙසේවෙතත් දෙවන වර්ෂයේදී අදාළ ගිණුමේ අවම ශේෂය ලෙස අමෙරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් පවත්වාගෙන යා යුතු අතර ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුලදී ගිණුමේ අවම ශේෂය ලෙස එම මුදල අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවටද යෝජනා කර තිබෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි අමෙරිකානු ඩොලර් 2000 ක පමණ මාසික ආදායමක් ලබන පුද්ගලයින්ට වසර 10 ක වීසා පහසුකමක් ලබාදීමටද එමගින් යෝජනා කර තිබෙනවා.

(Neth)