Monday, October 28, 2024
Follow Us
ෆිච් රේටින්ග් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර

විදේශ විනිමය ගලාඒම් පිළිබඳව දැනුවත් වුවද, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව සඳහන් කළා.

ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අන්තර්ජාතික ආයතනයක් වන ෆිච් රේටින් ආයතනයේ නවතම ණය ශ්‍රේණිගත කිීරීම් සහ දිගු කාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව තවත් පහත වැටී ඇති බව සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල සී සී තත්ත්වයට පහත වැටී ඇති අතර මීට පෙර ෆිච් රේටින් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවුණේ සී සී සී තත්ත්වයේයි. ශ්‍රී ලංකාවේ විදේශ විණිමය සංචිත සිය අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාට වඩා පහත වැටී ඇති බවයි ෆච් රේටින් ආයතනය සඳහන් කළේ. ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවද එම ආයතනය සඳහන් කළා.

කෙසේවෙතත් මෙම ෆිච් රේටින්ග් වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ග මගින් ආයෝජනයන් සිදුකිරීම වැළැක්වීමට හසු නොවන ලෙස ආයෝජකයන්ට දැනුම්දෙන බවයි.

විදේශ විනිමය ගලාඒම්වල ප්‍රගතිය මෙම සතිය තුළ නිවේදනය කෙරෙනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

(Neth)