Monday, October 28, 2024
Follow Us
ණය ගෙවීම පැහැර නොහරින බව ක්‍රියාවෙන් පෙන්වන්න - ආර්ථික විශ්ලේෂකයින් ආණ්ඩුවට කියයි

ණය ගෙවීම් පැහැර නොහරින බවට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කිරීමෙන් කිසිදු ඵලක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එය ක්‍රියාවෙන් ඔප්පු කර ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම මේ මොහොතේ සිදු කිරීම අනිවාර්යය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී පෙර නොවූ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

විදේශ ණය ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහත වැටී ඇති බව ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අන්තර් ජාතික ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ඊයේ සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල තවත් පහතට වැටීම වැළැක්වීම සඳහා රජය සහ මහ බැංකුව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලබාදෙන තොරතුරු ණය ලබාදෙන ආයතනවලට ඉතාමත් වැදගත් බැවින් ශ්‍රී ලංකාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

තවත් එක් ශ්‍රේණිගත කිරීමක් පහතට වැටුණහොත් ශ්‍රී ලංකාව ද ණය පැහැර හැරීමේ රටවල් අතරට එක්වන බවයි ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)