Monday, October 28, 2024
Follow Us
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවත් පහලට

දිගු කාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව තවත් පහත වැටී තිබෙනවා. ඒ, ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අන්තර්ජාතික ආයතනයක් වන ෆිච් රේටින් ආයතනයේ නවතම ණය ශ්‍රේණිගත කිීරීම් අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල සී සී තත්ත්වයට පහත වැටී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව ෆිච් රේටින් ශ්‍රේණිගත කිරීම් අනවු සී සී සී තත්ත්වයේ රැදී සිටියා. ශ්‍රී ලංකාවේ විදේශ විණිමය සංචිත සිය අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාට වඩා පහත වැටී ඇති බවයි ෆච් රේටින් ආයතනය පවසන්නේ. 2020 වසර අවසානයේ අමෙරිකානු ඩොලර් බිලියන 04ක පමණ විදේශ සංචිත ශ්‍රී ලංකාව සතුව පැවති අතර එය ඉකුත් අගෝස්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලයන 02ක් දක්වා පහත වැටුනා.

ඉකුත් නොවැම්බර් මාසයේ අගභාගය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1 දශම 6ක් දක්වා අඩු වී ඇති බවද ෆිච් රේටින් ආයතනය පවසනවා. ලබන ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර දෙකක් සහ එළඹෙණ ජුලී මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර දෙකක් ශ්‍රී ලංකාව විසින් ගෙවා දැමිය යුතු වනවා.

සමස්ථයක් ලෙස 2022 වසරේදී ඇමෙරිකාන් ඩොලර් බිලියන 6 දශම 9ක විදේශීය ණය සහ පොලිය ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බැවත් එය සපුරා ලීම දුශ්කර වනු ඇති බවත් ෆිච් රේටින් ආයතනය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ ණය ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීම අනපේක්ෂිත තත්ත්වයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ.

ජාත්‍යන්තර වෙළද පොළේ මෙරට බැදුම්කරවල අගය දැඩි ලෙස පහත වැටී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)