Monday, October 28, 2024
Follow Us
ගෑස් යළි නිකුත් කිරීමට සමාගම්වලින් තීරණයක්

ගෘහස්ත ගෑස් සැපයීම නැවත ආරම්භ කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක තීරණය කර තිබෙනවා.

අද සිට ගෑස් වෙළෙඳ පොළට නිකුත් කරන බවට පාරිභෝගික අධිකාරිය ඊයේ නිවේදනය කළද ඉදිරිපත් කළ කොන්දේසිවලට අනුව ගෑස් නිකුත් කළ නොහැකි බවයි ගෑස් සමාගම් ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව ගෘහස්ත ගෑස් නැවත වෙළෙදපොළට නිකුත් කිරීමට ගෑස් සමාගම් තීරණය කළා. මේ, එම සාකච්ඡාවෙන් අනතුරුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

ඒ අනුව මෙම සාකච්ඡාවෙන් පසු ගෑස් නිකුත් කිරීමට සමාගම් එකග වූ බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් ඒ එච් වෑගපිටිය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ තවත් අනතුරු කිහිපයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ නිවෙසක ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නකින් කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට ගෑස් ලබාදෙන බටයේ ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගත් බවයි නිවැසියන් සඳහන් කළේ.

පිළියන්දල මකුළුදූව පලිගෙදර ප්‍රදේශයේ නිවෙසක ද ගෑස් ලිපක් ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් තිබුණා. අනුරාධපුර කුරුන්දන්කුලම ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනිගැනීමක් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ගෑස් අනතුරු හේතුවෙන් සිදුවූ හානිවලට වන්දි ලබාදීමට ගෑස් සමාගම් කටයුතු කළ යුතු බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ.

(Neth)