Monday, October 28, 2024
Follow Us
රටින් ගෙන්වන ඉන්ධන ගොඩබෑමට නැව් පෝලිමේ

ඉන්ධන ගෙන්වීම තවත් අර්බුදයක් වෙයි


විදේශ වෙ​ෙළඳපොළෙන් සෘජුව මිලදීගත් පිරිපහදු කළ ඉන්ධන මෙරටට රැගෙන එන නෞකාවලින් නියමිත කාලයට ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදුකිරීමට නොහැකිවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවැන්ත අතිරේක පාඩුවක් සිදුවෙමින් තිබේ.

බොරතෙල් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව පවසමින් පසුගියදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් අනතුරුව මෙලෙස පිරිපහදු කළ පෙට්‍රල්, ඩීසල්, ගුවන්යානා තෙල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන සෘජුව ආනයනය කිරීම ආරම්භ කර ඇත.

මෙලෙස ඉන්ධන රැගෙන එම නෞකාවලින් ගොඩබෑම් සිදුකරනු ලබන්නේ මුතුරාජවෙල සහ කොළඹ වරාය ඩොල්ෆින් පර්යන්ත ආශ්‍රිතවය. එහෙත් රටට දෛනිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොඩබෑම සඳහා මෙම පර්යන්තවල ධාරිතාව ප්‍රමාණවත් නොවන අතර එමනිසා පැමිණෙන ඉන්ධන නෞකාවලට අමතර කාලයක් රැඳී සිටීමට සිදුවීමෙන් ඒවාට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට රජයට සිදුව ඇත.

සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5500ක්, ඩිසල් මෙ:ටො: 4000ක්, ගුවන් යානා ඉන්ධන මෙ:ටො:1200ක් සහ භූමිතෙල් මෙ:ටො: 600ක් පමණ අවශ්‍ය වේ. මුතුරාජවෙල සහ ඩොල්ෆින් යන පර්යන්තවල පැය 48කදී ගොඩබෑමේ ධාරිතාවන් වන්නේ පිළිවෙළින් ඉන්ධන මෙ:ටො: 48,000ක් සහ මෙ:ටො: 12,000කි.

මෙම ඉන්ධන අවශ්‍යතාව සැපිරීම සඳහා මේ වන විට නෞකා 04ක් මෙරටට පැමිණ අදාළ පර්යන්ත ආශ්‍රිතව නවතා ඇති අතර ඒවායේ ඉන්ධන නියමිත කාලයට ගොඩබෑමට හැකි නොවීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට රජයට සිදුව ඇත. මෙවැනි එක නැවක් වෙනුවෙන් දිනකට ප්‍රමාද ගාස්තු වශයෙන් එක්සත් ජනපද ඩොලර් 18,000ක (රුපියල් 3,654,000ක්) පමණ ගෙවීමට සිදුවේ.

කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක වූයේනම් දිනපතා ඉන් පෙට්‍රල් මෙ:ටො: 500ක්, භූමිතෙල් මෙ:ටො: 500ක් සහ ගුවන්යානා තෙල් මෙ:ටො: 300ක් ආදී වශයෙන් රටට සැපයීමේ හැකියාව පැවතිණි. එහෙත් දැන් රටට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධන අඛණ්ඩව ආනයනය කිරීමට සිදුව ඇති අතර එහිදී පර්යන්ත ආශ්‍රිතව ප්‍රමාදයක් සිදුව දෛනිකව විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව තිබේ. මීට අමතරව රටට ආනයනය කරන සෑම පිරිපහදු කළ ඉන්ධන මෙ:ටො: 01ක් වෙනුවෙන්ම මෙරටදී පිරිපහදු කරනු ලබන ඉන්ධන මෙ:ටො: 01කට සාපේක්ෂව ඩොලර් 03ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවද වාර්තා වේ.

මෙම අතිරේක වියදම් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි (මුදල්) වරුණ වීරසුරියගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඔහු සඳහන් කරන ලද්දේ ඉන්ධන ගොඩබෑමේ ප්‍රමාදයක් පිළිබඳව තමාට වාර්තා වී නොමැති අතර ප්‍රමාද වන නෞකාවක් වෙනුවෙන් දෛනිකව ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවන බව සත්‍යයක් බවයි.

(Aruna)