Monday, October 28, 2024
Follow Us
වසර 12 කට පසු ඉතිහාසයේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

වසර 12 කට පසු මෙරට වැඩිම උද්ධමනය ඉකුත් නොවැම්බර් මාසයේදී වාර්තා වි තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 9.9 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේම මිල ඉහළ යාම හේතුවෙන්.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය පැවතියේ සියයට 7 දශම 6 කයි. ඒ අනුව මාසයක් තුළ මෙරට උද්ධමනය සියයට 2.3 කින් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්. මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා වී තිබුණේ 2009 වසරේදීයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2009 යේ ජනවාරි මාසයේ උද්ධමනය සියයට 10 යි දශම 4 ක්. ඒ සඳහා පදනම් කරගෙන තිබුණේ 2006 - 2007 වර්ෂවල ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි හැසිරීමයි.

මේ වන විට වාර්ෂික ලක්ෂමය වෙනස මඟින් මනිනු ලබන මෙරට මතුපිට උද්ධමනය සලකා බැලෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි 2013 වර්ෂය පදනම් කර ගනිමින් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි හැසිරීම මතයි. ඒ අනුව ඉකුත් නොවැම්බර් මාසයේ වාර්තා වී ඇත්තේ එම මිල දර්ශකයෙහි හැසිරීම මත වාර්තා වූ ඉහළ ම උද්ධමනයයි.

(Neth)