Monday, October 28, 2024
Follow Us
රටේ ඩොලර් ප්‍රශ්ණයට උත්තර කෝ - ආර්ථික විශේෂඥයින් ප්‍රශ්න කරයි

මේවනවිට රට මුහුණ පා ඇති ඩොලර් ප්‍රශ්නයට මෙවර අයවැයෙන් පැහැදිළි වැඩපිලිවෙළක් සහිත විසඳුමක් ලැබී නැතැයි ආර්ථික විශේලේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එක් එක් ක්ෂේත්‍රවලට සහන දෙනවා වෙනුවට පොදු, ස්ථිර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැන් රට හමුවේ ඇති බවයි.

අපනයන අංශයේ සංවර්ධනයට ගත් පියවර අයවැයෙන් පැහැදිළි නොවන බව ද ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ සඳහන් කළේ යම් යම් අංශවලට දිරිදීමනා පමණක් ලබාදීමෙන් අපනයන ආර්ථිකයක් ගොඩනැගිය නොහැකි බවයි.

අයවැය මගින් යෝජනා කර ඇති බදු එකතු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද ගැටළුවක් පවතින බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අයවැය කථාව සිදුකරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ විදේශ ආයෝජන ආකර්ශනය සඳහා දැනට ඇති කොන්දේසි ලිහිල් කිරීමට යෝජනා කරන බවයි. විදේශ විනිමය ලබාගැනීමට නව ප්‍රවේශයක් ද, වෙළඳ භාණ්ඩ අපනයනයට සුවිශේෂී වැඩපිලිවෙළක් ද අවශ්‍ය බව ප්‍රකාශ කෙරුණා.

ඇගළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළඳපලේ නව ව්‍යාපාර ඇරඹීමට ද අයවැයෙන් යෝජනා කෙරුණා. විදේශ සහ දේශීය අපනයනයකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නව නීති කෙටුම්පත් සැකසීමට ද නියමිතයි. අපනයන බෝග වගා සංවර්ධනයට අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 10,000 ක් වෙන් කර ඇත්තේ එම බෝග වගාවන්ට සිදුව ඇති පසුබෑම හඳුනා ගනිමින්. අපනයන නිෂ්පාදන සංවර්ධනය, යටිතල පහසුකම් සැපයීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ මහජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

(Neth)