Monday, October 28, 2024
Follow Us
ඩොලර් සංචිත තවත් පහළට !

ඔක්තෝබර් අවසානය වනවිට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,267.5 දක්වා තවදුරටත් පහත බැස තිබෙනවා. මෙම ප්‍රමාණයට රන් සංචිත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති සංචිතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෑතකදී ලැබුණු ඩොලර් මිලියන 787 ක් පමණ වටිනා SDR ප්‍රදානයෙන් නොවිකුණා ඉතිරිව ඇති ප්‍රමාණයද ඇතුළත්.

පසුගිය සැප්තැම්බර් අවසානය වනවිට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,704.2 ක් වූ අතර, අගෝස්තු අවසානය වෙද්දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,543.5 ක්ව පැවතුනා. මේ අනුව, පසුගිය දෙමසක කාලය තුළ පමණක් ඩොලර් මිලියන 1,276 කින් සංචිත පහළ බැස ඇති බව පැහැදිලියි. සැප්තැම්බර් මැදදී සිදු වූ අධිපති මාරුවෙන් පසුව විදේශ අංශයෙහි කිසිදු යහපත් වර්ධනයක් සිදුව ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ.

ඉහත සංචිත ප්‍රමාණය වුවද මහ බැංකුවේම විදේශ වගකීම් පියවීමටත් ප්‍රමාණවත් නැහැ. අගෝස්තු මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඩොලර් මිලියන 400 ක් පමණ වූ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී එම හිඟය ඩොලර් මිලියන 794 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඔක්තෝබර් මාසයේදී නිල සංචිත පහළ ගොස් ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මේ වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සිතිය හැකියි.

ඉදිරි මාස දෙක තුළ ආනයන වියදම් පියවා ගැනීමට අමතරව ශ්‍රී ලංකාව විසින් ජනවාරි 18 දින ඩොලර් මිලියන 500 ක ස්වෛරිත්ව බැඳුම්කරයක්ද පියවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ද්‍රවශීල විදේශ සංචිත මහ බැංකුව සතුව ඇතත්, ජනවාරි මාසයේදී මෙම වාරිකය ගෙවීමෙන් පසුව ලංකාවේ විදේශ අංශයේ තත්ත්වය තවත් නරක අතට හැරීම නොවැලැක්විය හැකියි.

ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩනගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි.

මහ බැංකුවේ වත්මන් විදේශ විණිමය ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නැවත කෙසේ හෝ මේ ණය පිරමිඩයට මුක්කු ගසා තවත් කාලයක් පවත්වාගෙන යාමයි. ඒ සඳහා, ඩොලරයක මිල නාමිකව හෝ රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීමේ කාර්යයෙහි මහ බැංකුව නිරතව සිටිනවා. එහෙත්, මේ වෙද්දී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට සඟවා තව තවත් ණය ගැනීම ඉතාම අසීරුයි.

(LNW)