Saturday, October 19, 2024
Follow Us
සංචාරක කර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියනයක ප්‍රවර්ධන හා ප්‍රචාරක වැඩපිළිවෙලක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්ත්වයට ගෙන එම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධන හා ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර තිබේ.

ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් වැය කිරීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා ගෝලීය මහජන සබඳතා ප්‍රවර්ධන සමාගමක හා ජාත්‍යන්තර දැන්වීම් ප්‍රචාරක සමාගමක සහාය ලබා ගැනීම නියමිතයි.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනකට විදේශීය සංචාරකයින් 4300 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වන විට එය 2000 ක පමණ පිරිසකට පමණ සීමා වී ඇති බව සඳහන්. ඉතා දුෂ්කර අවස්ථාවක මෙම ප්‍රමාණයෙන් හෝ සංචාරකයන් පැමිණීම හොඳ තත්ත්වයක් බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වාදෙන්නේ.

පවත්නා ආරක්ෂක තත්ත්වය මත සංචාරකයන්ට මෙරටට පැමිණීම සඳහා එම රටවල්වලින් බාධා පමුණුවා තිබේ. අර්බුදකාරී ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එම රටවල් සිය ජනතාවගේ රක්ෂණ සහතිකය අත්හිටුවා ඇත.

මෙය මෙරටට සංචාරය සඳහා පැමිණීමට විශාල බාධකයක්ව පවතී. එහෙයින් විදෙස් සංචාරකයන්ට මෙරටදී ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක රක්ෂණයක් ලබා දීමට රජය සමඟ සාකච්ජා කරන බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

(LNW)