Wednesday, December 25, 2024
Follow Us
පිටරටින් ගෙනෙන කෑම

කොවිඩ්-19 යනු ප්‍රධාන වශයෙන් ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදයකි. නමුත් එම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේදී අපගේ රටේ ආර්ථිකය, සමාජය සහ දේශපාලනය අප සංවිධානය කරගන්නා ආකාරය පිළිබඳ ගැඹුරු ඇගැයීමක් කළ යුතු වේ.

අද මිනිසුන්ගේ සහ භාණ්ඩවල සංචලනය මත පදනම් වී ඇති අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකය දැඩි ලෙස නතර වී තිබේ. මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු ගැටලු රාශියකට මැදිවී තිබේ. මෙම ගැටලු අතරින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ආනයනික භාණ්ඩවලින් යැපෙන සහ ණය මත දුවන අධික පාරිභෝගීකරණයට ලක්වී ඇති සමාජ ආර්ථික ව්‍යුහයයි. නමුත් කොවිඩ් වෛරසය විසින් මෙම ව්‍යුහයට සෘජුව බලපෑම් කර තිබේ. එම නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළක් කරා අප යා යුතුය. ඒ සඳහා විකල්ප ආකෘතීන් අප විසින් සොයාගත යුතුය.

එහෙත් මෙම සන්දර්භය තුළ විකල්ප සෙවීමට නම් හුදෙක් ආහාර, සහල්, එළවළු, පලතුරු වැවීමෙන් ඔබ්බට ගන්නා ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙයින් පැන නැගෙන පළමු ප්‍රශ්නාර්ථය වන්නේ ශ්‍රී ලංකාව වැනි සරු පසකින් සහ දේශගුණික තත්ත්වයන්ගෙන් සමන්විත රටක් ආහාර ආනයනයට ඇබ්බැහි වී ඇත්තේ ඇයිද යන්නයි. ගන්නොරුව ප්‍රදේශයේ පිහිටා ඇති ධාන්‍ය භෝග පර්‌යේෂණ හා සංවර්ධන ආයතනයේ (HORDI) දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සහල් වර්ග 3000ක් පමණ ඇත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාව අවුරුද්දකට ටොන් 100ක පමණ සහල් පාකිස්තානය, මියන්මාරය සහ ඉන්දියාවෙන් ආනයනය කරයි.

මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් තිරිඟු පිටි ආනයනය කරන්නේ ඇමරිකාවෙන් සහ කැනඩාවෙනුයි. මෙම ආනයනික තිරිඟුවලට අවම වශයෙන් ඩොලර් මිලියන 28ක් පමණ වැයවේ. එම තිරිඟුවලින් ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය කරන්නේ දේශීය සමාගමක් නොවේ. සිංගප්පූරු සම්භවයකින් යුතු Prima සමාගමයි. හැම නිවසකම දිනපතා ආහාරයට ගන්නා රතු පරිප්පු ඉන්දියාවෙන් ආනයනය කිරීමට වාර්ෂිකව ඩොලර් මිලියන 79ක් වැයවේ. ඉදිරියේදී ඇමරිකාවෙන්ද පරිප්පු ආනයනය කිරීමට නියමිතය. දැනට වාර්ෂිකව ඉරිඟු මෙට්‍රික් ටොන් 150,000ක් ඇමරිකාවෙන් ආනයනය කිරීමට ඩොලර් මිලියන 0.4ක් වැයවේ. එමෙන්ම සෝයා (ඇමරිකාවෙන්), මුංඇට (තායිලන්තයෙන්), රතු මිරිස් (ඉන්දියාවෙන්), ලූනු (ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන්), අර්තාපල් (චීනය සහ පාකිස්තානයෙන්), කව්පි සහ මුංඇට (ඔස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ කෙන්යාවෙන්) ආනයනය කෙරේ. එපමණක් නොවේ, සත්ත්ව ආහාර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 176ක් වැය කරයි. මෙයින් වැටහෙන්නේ අප රටේ මනුෂ්‍යයන් පමණක් නොව, කුකුළන්, ඌරන් වැනි සතුන්ද ආනයනික ආහාර මත යැපෙන බවයි. ශ්‍රී ලංකාව යනු කිරි නිෂ්පාදනවල ශුද්ධ ආනයනකරුවෙකි. 2018දී අප රජය විසින් ඩොලර් මිලියන 349ක කිරි නිෂ්පාදන ආනයනය කර ඇත. මෙම අඳුරු තත්ත්වයට එක හේතුවක් වන්නේ ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ අතිශය අඩු ඵලදායිතාවයි. අනෙකුත් දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ඵලදායිතාව සැලකිය යුතු ලෙස අඩුය. මෙයට එකම පිළියම අස්වැන්න වැඩි කිරීම නොවේ.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රවණතාවක් වන්නේ කිසියම් භෝගයකට ඉහළ මිලක් නියම කළේද සියලු ගොවියන් ඒ පසුපස ගොස් එකම භෝගය වගා කිරීමය. එම ක්‍රියාවලියෙන් යම්කිසි භෝගයක නිෂ්පාදන අතිරික්තයක් ඇතිවී මිල ඉතා අඩු අගයකට පහත වැටේ. නිෂ්පාදන පිරිවැයට වඩා මිල පහත වැටුණහොත් ගොවියා පාඩු ලබයි. ඔහුට හෝ ඇයට එම කන්නයේ වගා කිරීමට ලබාගත් ණය ගෙවීමට සහ පෙර කන්නවල හිඟ මුදල් පියවීමට නොහැකි වේ. වර්තමාන සහ අනාගත ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම්ගත යුතු වැදගත් කරුණක් වන්නේ ආහාර සඳහා ඇති ඉල්ලුම ප්‍රත්‍යස්ථ නොවන බවයි. (Demand is Flat) උදාහරණයක් වනුයේ ශ්‍රී ලාංකිකයකු වසරකට පරිභෝජනට ගන්නා සහල් ප්‍රමාණය කිලෝ 110කි. එයට වඩා පරිභෝජනයක් නොවේ. මෙයින් අදහස් වන්නේ ​දේශීය වෙළෙඳපොළ විසින් අවශෝෂණය කරගත හැකි සහල් ප්‍රමාණය සීමිත බවයි. ආහාර නිෂ්පාදනයේ අතිරික්තය කළමනාකරගැනීම සඳහා රජය පියවර ගත යුතුය. මෙයට එක් විකල්පයක් වන්නේ විදේශ වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආහාර අපනයනය කිරීමයි. ශ්‍රී ලංකාවට ආවේණික සහල් වර්ග ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මත පදනම්ව (​ගෝලීය වශයෙන්) නව ඉල්ලුමක් ඇතිකළ හැකිය. නමුත් මේ සඳහා මධ්‍යම හා දිගුකාලීන අලෙවිකරණ (Marketing) සහ වෙළෙඳ නාම (Branding) වැඩසටහන් ජාත්‍යන්තර මට්ටමේ කළ යුතුව තිබේ. තවත් විකල්පයක් වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයෙන් ඇති අතුරු නිෂ්පාදන සංවර්ධනය කිරීමය. උදාහරණ වශයෙන් සහල් පොතු, සහල් නිවුඩ්ඩ සහ කැඩුණු සහල් භාවිතයෙන් නිෂ්පාදන රාශියක් කළ හැකිය.

සෑම වසරකම ශ්‍රී ලංකාවේ වී පොතු මෙට්‍රික් ටොන් 575,000ක් පමණ නිෂ්පාදනය වේ. අඩු වාණිජ වටිනාකමකින් යුත් මෙම අතුරු නිෂ්පාදන භාවිත කිරීම සහ බැහැර කිරීම මෝල් හිමියන් සහ ගොවීන්ට මහත් හිසරදයක් වී ඇත. එහෙත් වී පොතු පස සරු කිරීමට යොදාගත හැකි පොහොර නිෂ්පාදනය කිරීමට සහ bio fuel ලෙස සාර්ථකව භාවිතයට ගත හැකිය. වී පොතුවලින් කළ හැකි අතුරු නිෂ්පාදන බොහෝය. ඇසුරුම් ද්‍රව්‍යවල පරිවරණය සඳහාද, වානේ සහ යකඩ පිරිසුදු කිරීමේ කාරක සඳහාද, සිමෙන්ති නිපදවීමේ අමුද්‍රව්‍යයක් ලෙසද භාවිත කළ හැකිය. වී පොතු ඉන්ධන වශයෙන් යොදාගන්නා කුඩා කර්මාන්තශාලා ඉන්දියාවේද, චීනයේද, වියට්නාමයේද බොහෝය.

ගෘහස්ථ ආර්ථිකය වැඩිදියුණු කරගැනීමට නම් ගොවීන්ගේ සහ ගොවි පවුල්වල සාමාජිකයන්ගේ ශ්‍රමය උපරිමයට භාවිත කළ යුතුය. දැනට වී ගොවියකු මාස පහක කාලයක් තුළ වැඩ කරන්නේ දින 20ක් පමණි. බහුතරයක් ගොවීන් කෘෂිකාර්මික ශ්‍රමිකයන් යොදවමින් තමන්ගේ වගා කටයුතු කරගෙන යති. ඉතිරි දින 130 තුළ ඔහු හෝ ඇය කුමක් කරන්නේද? කිසිවක් නැත. කනගාටුවට කරුණක් වන්නේ මෙම රටාව දැන් ගොවි සංස්කෘතියේ කොටසක් වී ඇති බවයි. ගොවීන්ගේ ආදායම වැඩිදියුණු කිරීම සඳහා වන විසඳුම වන්නේ රාජ්‍ය දීමනා, නොමිලේ ලැබෙන පොහොර හෝ වෙනස් දේවල් වැඩි වැඩියෙන් ලබාදීම නොව, ඉහළ වටිනාකමකින් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා තම කාලය කළමනා කර ගැනීමය. මේ සම්බන්ධයෙන් බොහෝ නවෝත්පාදන යෝජනා කළ හැකිය. නිදසුනක් ලෙස​ කොහොඹ, මී ගස් බහුලව වැඩෙන වියළි කලාපයේ ගොවීන්ට ඖෂධ, පොහොර සහ දැව සඳහා මෙවන් ගස් වගා කළ හැකිය. වගා කිරීම සඳහා රජයේ ඉඩම් ලබාදිය හැකිය. පොහොර, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ bio fuel නිපදවීමට කොහොඹ සහ මී භාවිත කළ හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික ශාක යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වටා කුඩා කර්මාන්ත රාශියක් ගොඩනැගිය හැකිය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින්නේ පළිබෝධ නාශක, වල්නාශක සහ බීජ වටා ගොඩනැගුණු ඉතා ප්‍රබල මාෆියාවකි. මෙම මාෆියාවේ බහුජාතික සමාගම්, දේශීය පෞද්ගලික සමාගම්, දේශපාලනඥයන් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලයන් සිටී. මෙම මාෆියාව විසින් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදනවලට ඇබ්බැහි කොට ගෙන ඇත. වර්තමානයේ පළිබෝධ නාශක සහ වල්නාශක අධික ලෙස භාවිත කිරීම නිසා පානීය ජලය සහ වාරිමාර්ග ඇතුළු පහත් බිම්වල ජලයේ ගුණාත්මක භාවය දරුණු ලෙස පිරිහී ඇත. මේ සාධක හමුවේ ඇතැම් දිස්ත්‍රික්කවල 15%කට වැඩි ජන කොට්ඨාසයක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. ඒ විතරක් නොවේ, දශක ගණනාවක් තිස්සේ ආක්‍රමණශීලී ලෙස අලෙවිකරණය කළ පළිබෝධ නාශක, වල්නාශක සහ ජානමය වශයෙන් වෙනස් කරන ලද බීජ (Geuetically modified Seeds) ‌හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික ශාක රැසක් අද වඳවී ඇත. අද අප පරිභෝජනයට ගන්නා වැටකොලු දේශීය ප්‍රභේදයක් නොවේ. දේශීය කරවිල ප්‍රභේද ශීඝ්‍රයෙන් වඳවීමට ලක්වී ඇත. ඵලදායිතාව වැඩිකර ගැනීමට Geuetically modified බීජ භාවිත කිරීමට ගොවීන් පෙලඹී ඇත.

පොහොර සහ පළිබෝධ නාශක සමාගම්වල බලපෑම නිසා අපටම ආවේණික උද්භිද විද්‍යාත්මක දැනුම අද තුරන් වී ගොස් ඇත. උදාහරණයක් ගත්තොත් ‘වෙල්මාරුක්’ නම් වල් පැළයක් බව කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සහ ගොවීන් විශ්වාස කරති. එහෙත් එය ඉතා පෝෂ්‍යදායී සහල් විශේෂයක් බවත්, එකී ඔරොත්තු දීමේ හැකියාව ඉහළ තත්ත්වයක ඇති බවත් අද කිසිවෙක් නොදන්නේය. ඒ වෙනුවට පොහොර සහ පළිබෝධ නාශක මත යැපෙන භෝග වර්ග වැවීමට නැඹුරුවක් ඇත. අපගේ ගොවි ජනතාව මේ හසුවී සිටින්නේ agro-chemical political economy එකක ග්‍රහණයටය. මෙය හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොව, ගොලීය වශයෙන් ව්‍යාප්ත වන්නකි.

ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග ප්‍රයෝජනයට ගෙන කළ හැකි නවෝත්පාදන (Value-added) බොහෝය. දික්කැකුණ සහ කොට්ටම්බ ඇටවලින් Hazelnut වැනි අතිශයින් පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය කළ හැක. එම ඇට හරිහැටි අවන් කොට, සකස් කළහොත් ලෝක වෙළෙඳපොළේද ඉල්ලුමක් ඇති කළ හැකි බව නොඅනුමානය. ඒ වගේම විවිධ ප්‍රදේශවලට ආවේණික පලතුරු සහ එළවළු නිෂ්පාදනය කිරීමට ගොවි සමුපකාර දිරිමත් කළ යුතුය. රණවරා, බෙලිමල්, මුරුංගා, ඉඟිනි සහ අනෙක් ඖෂධීය ගුණයෙන් යුක්ත ශාක වර්ගවලින් තේ වර්ග සැකසිය හැකිය. (Health Conscious) සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවට නැඹුරුවක් දක්වන ලෝක වෙළෙඳපොළේ පාරිභෝගිකයාට මෙම නිෂ්පාදන ඉතා පහසුවෙන් අලෙවි කළ හැකිය. කොවිඩ් වසංගතයෙන් ඉක්බිතිව අපේක්ෂිත ආහාර අර්බුදයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය ‘සෞභාග්‍යා’ නමින් ගෙවතු උද්‍යාන වැඩසටහනක් දියත් කර තිබේ. මේවා ප්‍රශංසනීය මෙන්ම ධනාත්මක ව්‍යාපෘති වේ. එහෙත් මෙම වැඩසටහන සාර්ථක වීමට නම් වඩාත් සූක්ෂ්ම සැලසුම් කිරීමක් අවශ්‍ය වේ. ආහාර භෝග පමණක් වගා කිරීම ප්‍රවර්ධනය කිරීම ප්‍රමාණවත් නොවේ. එසේම එළවළු සහ පලතුරු වගා කරන ගොවීන්ගේ ඉදිරි ගමන පිළිබඳවත් අප සැලසුම් යෙදිය යුතුය.

ගොවීන් සහ උනන්දුවක් දක්වන වගාකරුවන්ගේ සමුපකාර ​(Cooperatives) සමිති ලෙස සංවිධානය කිරීම අවශ්‍යය. එමගින් සාමූහික ඵලදාව ඉහළ අගයක පවත්වාගෙන නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාගත හැකි වේ. දෙවනුව, එම වගාකරුවන් ගුණාත්මක භාවයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය හා සුදුසු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතුය. තෙවැනි පියවර ලෙස කෘෂි නිෂ්පාදන අලෙවිකරණය සඳහා පහසුකම් සැපයිය යුතුය. මේ සඳහා ගොවි සමුපකාර සමිති (Agricultural cooperatives) යොදාගත යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් වන ආචාර්ය සිරිල් විජේසුන්දර වැනි මහත්වරුද යෝජනා කරති. ශ්‍රී ලංකා​වේ මෑත අතීතයේ ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් 1977න් පසු මෙම ව්‍යාපාරයට දේශපාලන සහයෝගය ලැබුණේ නැත. එමෙන්ම එම සමිතිවල ඉහළ තනතුරු දූෂිත පුද්ගලයන්ට හිමිවිය. ග්‍රාමීය මට්ටමේ එළවළු, පලතුරු සහ අනෙකුත් ආහාර භෝග වගාකරුවන් සඳහා සමුපකාර සමිති දේශපාලන බලපෑම්වලින් තොරව නැවත ආරම්භ කළ යුතුය. මෙය ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුවිය හැකිය. ගම් මට්ටමින් පිහිටුවන සමුපකාර සමිති ජාලගත කළ හැකි අතර මෙමගින් නිෂ්පාදන හුවමාරුව පහසු කරගත හැකි වේ.

ගම් මට්ටමේ සමිති ප්‍රාදේශීය ලේකම් මට්ටම සහ පසුව දිස්ත්‍රික් මට්ටමට හා පළාත් මට්ටමට සම්බන්ධ කළ හැකිය. මේ දිනවල ක්‍රියාත්මක වන ගෘහයන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුකළ හැකි අතර එම නිෂ්පාදන සහ බෙදාහැරීම සමුපකාර සමිතිවලට භාරගත හැකිය. දකුණු ආසියාවේ සාර්ථකම සමුපකාර ව්‍යාපෘතිය වන්නේ ඉන්දියාවේ Amul කිරි සමාගමයි. ශ්‍රී ලංකාවේද හොඳ සමුපකාර සමිති කිහිපයක් මෑත ඉතිහාසයේ පැවතුණි. එම සමිති වඩා හොඳ තාක්ෂණයක් හා විශේෂඥ දැනුම භාවිත කොට බලගැන්විය හැකිය. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ අදහස වන්නේ මෙවැනි ව්‍යාපෘතියකට Big data Analytics භාවිත කළ යුතු බවයි. කෘෂිකාර්මික දත්ත විශ්ලේෂණය මගින් භෝග කළමනාකරණය, අවදානම් (risk) තක්සේරු කිරීම සහ කෘෂිකාර්මික සැපයුම් දාම කළමනාකරණය වැඩිදියුණු කළ හැකිය. චීන රජය දැනටමත් Big data Analytics මාර්ගයෙන් එරටේ කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම සහ විද්‍යානුකූල ලෙස පවත්වාගෙන යයි. චීනයේ මෙම ව්‍යාපාරයට හේතු වී ඇත්තේ චීන සමූහාණ්ඩුව විසින් ඉහළ මට්ටමෙන් කළ ප්‍රතිසංස්කරණ, දැන උගත් තරුණ ගොවීන්ගේ සහ කෘෂිකර්මයේ නියැළෙන පෞද්ගලික අංශයේ සමාගම්වල උනන්දුවයි. මෑතකදී රජයේ සේවයට බඳවාගත් රැකියා විරහිත ඩිප්ලෝමා සහ උපාධිධාරීන් මෙම කාර්යයට යොමුකළ හැකිය. වර්තමානයේ නව ලිබරල්වාදී මූල්‍යකරණයට ලක්ව ඇති කෘෂිකාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ආකෘතියද කෙමෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආකෘතිය නිසා ඇතිවී තිබෙන අධික ණයගැති භාවයටද පිළියමක් යෙදිය යුතුය. චීනය සහ වියට්නාමය වැනි රටවල් දේශීය සහ ප්‍රජා මූල්‍ය ආයතන ව්‍යාප්ත කිරීමෙන් ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇත. මෙම ආයතන විධිමත්, දේශීය ණය සමුපකාර වේ.

අවසාන වශයෙන් කෘෂිකර්මය මෙන්ම ඖෂධ නිෂ්පාදනය සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් වටාද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ​ගොඩනැගිය යුතුය. ශ්‍රී ලංකාව සතු ලොකුම සම්පත මානව සම්පතයි. අධ්‍යාපනය, නිපුණත්වය සහ තාක්ෂණය ඒකාබද්ධ කොට ගත් පරිපූර්ණ මානව සම්පත් සංවර්ධනයට ඉහළම ජාතික ප්‍රමුඛත්වය ලැබිය යුතුය. පාසලේ සිට විශ්වවිද්‍යාල දක්වා අතරමග හැලෙන දරුවන් ඇතුළුව කෘෂිකර්මය, ඖෂධ සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් යන අංශවලට නැඹුරු කළ යුතුය. කොවිඩ් වසංගතය රටේ පැතිරී මාසයක් තුළ Veutilators, self-purifying maska, test kits යන නව නිර්මාණ ඉදිරිපත් කළ තරුණ කොටස් බොහෝය. ඒ අයට සාධාරණව patents ලබාදී ඔවුන් බලගැන්විය යුතුය. ඉදිරි අනාගතයේ ආයුර්වේද වට්ටෝරු සහ පාරම්පරික ක්‍රමවේද අනුව සැකසූ ඖෂද කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කළ හැකිය. ඉහළ ප්‍රමිතීන්ට සහ ලෝක වෙළෙඳපොළේ ප්‍රවණතාවන් හඳුනාගෙන එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමෙන් රටට රැකියා, කර්මාන්ත සහ විදේශ විනිමයද උපයාගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව වටා ඇති මහ මුහුදෙන් හමන සුළඟ සහ සූර්ය බලශක්තිය පාදක කොටගත් කර්මාන්ත බොහොමයක් ස්ථාපිත කළ හැක. මෙම සියලු කර්මාන්තවලට අවශ්‍ය නිෂ්පාදන යෙදවුම් (Production inputs) හැකිතාක් දුරට අප රටේම නිෂ්පාදනය කිරීමට ප්‍රයත්න දැරිය යුතුය.

අපේ මුතුන් මිත්තන් අවුරුදු 5000කට පෙර උසස් තාක්ෂණය සහ පරිසර හිතවාදීව කළ කෘෂිකර්මාන්තය අද අවාසනාවකට අපට අහිමි වී ඇත. පිටරටින් එන සෑම දෙයම වැලඳගෙන හුදෙක් IT කර්මාන්තයක් පසුපස හඹා ගොස් සියලු රටවැසියන් ස්වර්ගගාමී කළ නොහැකිය. අපේ මුතුන් මිත්තන් මෙන් අපිට ස්ව ශක්තියෙන් සහ අපේම අත්දැකීම්වලින් මෙම සංවර්ධන ක්‍රියාවලියට අදාළ ඥානය නිෂ්පාදනය කළ යුතුය. කොවිඩ්-19 වෛරසය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා නැවත Re-Programme කරන්නට වී ඇත. මෙහිදී අපගේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ අපේ රටේ කේන්ද්‍රය නොව, පරිධිය ශක්තිමත් කරන ආර්ථික සැලැස්මක් සම්පාදනය කොට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමය.

ආචාර්ය වගීෂා ගුණසේකර ජේෂ්ඨ කතිකාචාර්ය දේශපාලන අර්ථශාත්‍රය විවෘත විශ්ව විද්‍යාලය

(Aruna)