Wednesday, December 25, 2024
Follow Us
ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව අතර සහසම්බන්ධය වෛරය ද? එසේත් නැත්නම් මිත‍්‍රත්වය ද? (චමින්ද්‍රි සපරමාදු)

පුරා තිස්වසරක් පැවති කුරිරු යුද්ධය අවසන් වී වසර දහයකට පසුව ත‍්‍රාසය, භීතිය සහ අනාරක්ෂිත බව නැවත ශී‍්‍ර ලංකාව වෙලාගෙන ඇත. පාස්කු ඉරිදා සිදුවූ දරුණු ඛේදවාචකය සහ ඒ හා සම්බන්ධ සිදුවීම් නිසා පැනනැගුණු ගැටළුකාරී තත්ත්වයන් විසින් ජාතික ආරක්ෂාව නමැති මාතෘකාව නැවත කරළියට පැමිණ තිබේ. ත‍්‍රස්තවාදයේ නව මුහුණුවර හඳුනාගැනීමටත්, නව සංසිද්ධීන් විශ්ලේෂණය කරගැනීමටත්, ඒවාට නව අර්ථකථන ලබාදීමටත්, එ් සඳහා විසඳුම් සහ පිළිතුරු සපයා ගැනීමටත් දරන විවිධ ප‍්‍රයත්නයන් පසුගිය දින කිහිපය තුළ මම නිරීක්ෂණය කළෙමි.

මෑතක දී පවත්වන ලද සර්ව පාක්ෂික සමුළුවක දී ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව පිළිබඳ වැදගත් කරුණු රැසක් ඉස්මතු වී ය. මෙහි දී මතු වූ වැදගත් ම අදහස වූයේ රටක ජාතික ආරක්ෂාව පිළිබඳ න්‍යායපත‍්‍රය සහ ජාතික සංහිඳියාව පිළිබඳ න්‍යායපත‍්‍රය එකිනෙකට ප‍්‍රතිවිරෝධී ආකාරයෙන් දැකීම හෝ ක‍්‍රියාත්මකවීම සිදු නොවිය යුතු ය යන්නයි. මෙම අරමුණු දෙක කරා ගමන් ගන්නා වත්මන් ශී‍්‍ර ලංකාවට ඉහත කී අදහස අතිශයින් වැදගත් වේ යැයි මම විශ්වාස කරමි. න්‍යායාත්මක වශයෙන් පමණක් නොව, වත්මන් සහ අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා සිදුකරනු ලබන ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී ද ඉවහල් වන වැදගත් උපායමාර්ගික ප‍්‍රස්තුතයන් දෙකක් ලෙස මෙම කරුණු වටහාගත යුතුව තිබේ. මෙම කෙටි ලිපිය මගින් ඒ පිළිබඳ මගේ ක්ෂණික අදහස් හා ප‍්‍රතිචාර දක්වා සිටිනු කැමැත්තෙමි.

තාර්කික හෝ තාර්කික නොවන හේතු ගණනාවක් නිසා ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාව බහුතර සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපෘතියක් ලෙස ප‍්‍රත්‍යක්ෂ වී තිබේ. ජාතික ආරක්ෂාව එක් ප‍්‍රජාවක් සමඟ පමණක් බද්ධ වී ඇතැයි යන ආකල්පය හේතුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ අරමුණු ජාතික සංහිඳියාව පිළිබඳ අරමුණුවලට පටහැනි වන බවක් දක්නට ලැබේ. මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුකාරක වන සහ එම තත්ත්වයන් වඩා වර්ධනය කරන සාධක රැුසක් ඇති බව මා විශ්වාස කරන අතර, එම සාධක ඉවත්කිරීමට ඉක්මනින් කටයුතු නොකළහොත්, මෙරට ජාතික ආරක්ෂාව සියලූ ප‍්‍රජාවන්ගේ ම ව්‍යාපෘතියක් බවට පත්කළ හැකි තවත් ඓතිහාසික අවස්ථාවක් අපට අහිමිවනු ඇත.

දේශීය වශයෙන් මෙන් ම, ගෝලීය වශයෙන් ගත්කල ද, බොහෝ ලිබරල්වාදී මත සහ ප‍්‍රකාශන මගින් සියලූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හි වැරදිකරුවන් බවට සිංහල බෞද්ධයන් පත්කර ඇති අතර, සංකල්පමය වශයෙන් ද ආරක්ෂීකරණය පිළිබඳව කිසියම් සැකයක් ඇති බව පෙනේ. දිවයින තුළ මෙන් ම ඉන් පරිබාහිරව සිටින ලිබරල් මතධාරීන් මෙහි එක් පදනමක සිටිමින් කටයුතු කරන බවත් පෙන්නුම් කරයි.

දැඩි ආරක්ෂීකරණයේ උවදුරුකාරී තත්වයන් යථාර්තයක් වුවද, මෙම තත්ත්වය සරලව ගෙන මතුපිටින් වටහාගැනීමේ ප‍්‍රතිඵලය ලෙස සෑම ප‍්‍රචණ්ඩ සිදුවීමක් ම සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපෘතියක් ලෙස ස්වංක‍්‍රීයව අර්ථකථනය කිරීමත්, විස්තරවීමත් නිසා රජයට හා රජයේ සන්නද්ධ හමුදාවන්ට ද ඒ පිළිබඳ වරදකරුවන් බවට ඇගිලි දිගු කිරීමක් සිදුවේ.

පසුගිය පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් අප ලද අත්දැකීම් අනුව ‘වරද පැටවීමේ ක‍්‍රීඩාව’ ක‍්‍රියාත්මක වූ ආකාරය නිරීක්ෂණය කිරීම මෙහි දී අතිශයින් ප‍්‍රයෝජනවත් වනු ඇත. මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී බොහෝ ජනමාධ්‍ය සහ සමහර පුද්ගලයන්ගේ ක්ෂණික ප‍්‍රතිචාරය වූයේ, ඍජුව හෝ වක‍්‍රාකාරයෙන් සිංහල බෞද්ධයන්ගේ සම්බන්ධය මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවට සම්බන්ධ බව හැඟවීම සහ එය බෞද්ධයන් සහ කතෝලික ක‍්‍රිස්තියානි ප‍්‍රජාව අතර පවත්නා අඛණ්ඩ ඓතිහාසික වෛරයක් නිසා සිදුවූවක් බව ගෙනහැර දැක්වීමයි.

ඉතාමත් අනර්ථකාරී ලෙස ‘රාජපක්ෂ භීතිය’ වැළඳී සිටින අයවලූන්ගේ බොහෝ ප‍්‍රකාශවල යටි අරමුණ වූයේ, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ ඔහුට සම්බන්ධ පුද්ගලයන් විසින් ඉදිරි ජනාධිපති සටන අරමුණු කොටගෙන මෙම ප‍්‍රහාර මාලාව සිදුකළ බව සමාජගත කිරීම ය. ඉන් දින කිහිපයකට පසු මෙම ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය හෙවත්, ෂීෂී සංවිධානය භාරගත් පසුව ද, හේතුකාරක සාධකය ලෙස සිංහල බෞද්ධයන් මෙම ත‍්‍රස්ත ක‍්‍රියාවල වරදකරුවන් වන බවට ඉඟි පළවී ය.

ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ මෙම සරල වටහාගැනීම සියලූ සාධකයන්ට සහ තර්කනයන්ට පටහැනි වන අතර. ප‍්‍රචණ්ඩත්වයේ විවිධ ආකාරයන් පිළිබඳ ඓතිහාසික හා දේශපාලනික මානයන්ට, විග‍්‍රහයන්ට සහ අර්ථදැක්වීම්වලට ද පටහැනි ය. එ් සඳහා නිදසුන් කිහිපයක් පෙන්නා දෙන්නේ නම්, අරන්තලාවේ බිහිසුණු සමූලඝාතනය, දළඳා මැඳුරට එල්ල කළ ප‍්‍රහාරය, අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියට එල්ල කළ ප‍්‍රහාරය වැනි දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ පැවති ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තකි‍්‍රයා හේතුවෙන් වින්දිතයන් බවට පත්වන්නට සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති බව පැහැදිලි වෙයි. මෙවැති ඉතාමත් පැහැදිලි සාක්ෂි තිබිය දීත්, ඊනියා ලිබරල් මතධාරීන් විසින් පුන-පුනා හඳුන්වන සහ සවිබල ගන්වන ව්‍යාජ වින්දිතයන් සහ අපරාධකරුවන් පිළිබඳ වෘත්තාන්තය නිසා අප රටේ ප‍්‍රජාවන් එකිනෙකාගෙන් දුරස් කිරීම මෙන් ම, සංහිඳියාව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අපේක්ෂාවන් බිඳදැමීම ද එමගින් සිදු වී තිබේ.

ප‍්‍රචණ්ඩත්වය පිළිබ`දව ඇති මෙම හුදෙකලා සහ සීමිත අවබෝධයන් හේතුවෙන් ත‍්‍රස්තවාදයට එරෙහිව සිදුකළ යුද්ධය ද ප‍්‍රචණ්ඩත්වය නිමකර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ හමුදාමය මෙහෙයුමක් ලෙස නොව, දමිළ ජනතාවට එරෙහිව සිදුකරන ලද ප‍්‍රචණ්ඩත්වයක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙවැනි සාවද්‍ය අර්ථදැක්වීම් මගින් හමුදා මෙහෙයුම් නිසා සිදුවූ රටේ ස්ථාවරත්වය ඇතිවීම, මානුෂීය සහන සැලසීම වැනි සාධනීය කටයුතුවල සැබෑ තත්ත්වය ද වසන්කර තිබේ. උතුර නැගෙනහිර හමුදා මෙහෙයුම්වල දී පමණක් නොව, අලූත්ගම වැනි ප‍්‍රදේශවල ඇතිවූ අර්බුදකාරී අවස්ථාවල දී පවා අපේ රටේ සන්නද්ධ හමුදා විසින් සිදුකරන ලද ඉහත දැක්වූ බහුවිධ සාධනීය කාර්යයන් අප අත්දැක ඇත්තෙමු. මෙවැනි අවස්ථාවල දී සහන ලැබුවෝ බොහොමයක් දිවයිනේ සුළුතර ජනවර්ගයන්ට අයත් පුද්ගලයෝ් ය.

කෙසේ වුව ද, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන ලද ක‍්‍රියා කිහිපයක් නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ න්‍යායපත‍්‍රය සකස් කිරීම බහුතර ජාතියේ සංකල්පයන්ට හා පිළිවෙත්වලට ප‍්‍රමුඛස්ථානය දෙමින් සිදුවන බවට අදහස් හුවමාරුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් මා අවධාරණය කිරීමට කැමැති කරුණක් වන්නේ අප ලද ආරක්ෂක ජයග‍්‍රහණයන් සංකේතාත්මකව නියෝජනය කිරීමේ දී පවා දිවයිනේ බහුතර ජනවර්ගය නියෝජනය කරන යෝධ සිංහරුව සමඟ එය සම්බන්ධ කිරීම සහ උත්සව සහ වෙනත් ප‍්‍රසිද්ධ රැුස්වීම්වල දී සිංහල දේශාභිමානී ගීත පමණක් ගායනා කිරීම නොදියුණු සමාජ ලක්ෂණයක් බව ය. මා එසේ ස`දහන් කරන්නේ මෙවැනි හමුදාමය ජයග‍්‍රහණ මෙන් ම වෙනත් ආකාරයේ ජාතික උත්සව සිංහල බෞද්ධ බහුතර මතවාදය නියෝජනය වන ආකාරයෙන් සැමරීමෙන් අන්‍ය වාර්ගික ප‍්‍රජාවන් එවැනි ජයග‍්‍රහණවලින් සහ පොදු කටයුතුවලින් ඈත්කර තැබීමේ ප‍්‍රවණතාවක් ඇතිවන හෙයිනි.

මීට අමතරව ඇති අනෙක් අවාසනාවන්ත තත්ත්වය වන්නේ සන්නද්ධ හමුදාවන්ගේ සංයුතිය දිවයිනේ ජන විකාශය නියෝජනය නොවන ආකාරයට පිළියෙල වී ඇති අතර, එ් හේතුවෙන් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගෙන් අති බහුතරය සිංහල ජනවර්ගය බවට පත්ව තිබේ. එනිසා ම රටේ පවත්නා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පවා නොතකා හරිමින් තම මෙහෙයුම් එක් භාෂාවකින් එනම් සිංහල බසින් පමණක් සිදුකරන්නට ඔවුන්ට සිදු වී තිබේ. එහෙයින්, රටේ ජාතික ආරක්ෂාව බහුතර සිංහල ජාතිය පමණක් ප‍්‍රමුඛ කොට සිදුවන්නේ යැයි අනෙකුත් ජනවර්ගයන්ට සිතන්නට සිදුව තිබීම සාධාරණ ය.

අප මුහුණ දී සිටින මෙම තීරණාත්මක අවස්ථාවේ දී රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වැදගත්කම ගැන සලකා බලන විට විශේෂයෙන් ම ශී‍්‍ර ලංකාව මුහුණ දී සිටින ප‍්‍රධාන අභියෝගය වන්නේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව යන අතිශය වැදගත් කරුණු දෙක එකවර සපුරාගැනීමේ ඇති වැදගත්කම අරමුණු කොටගත් ජනවාර්ගිකකරණයෙන් තොර වූ ආරක්ෂක ප‍්‍රතිපත්ති සහ උපායමාර්ග මනාව සැලසුම්කොට ක‍්‍රියාත්මක කිරීම ය. මන්ද ? කිසියම් ආරක්ෂක මැදිහත්වීමක් එක් ප‍්‍රජාවක හෝ ජනවර්ගයක විශ්වාසයන්ට සහ සංස්කෘතික වත්පිළිවෙත්වලට පටහැනි වන්නේ නම්, එය ඔවුන්ට සිදුකරන ‘වෙනස් ලෙස සැලකීමක්’ සේ පෙනීයාමට හෝ තේරුම්යාමට බොහෝවිට අවකාශ ඇති හෙයිනි. ඕනෑ ම ජනකොටසක සංස්කෘතික අනන්‍යතාවන් පවත්වාගෙන යාමට සහ එ්වා ආරක්ෂා කිරීමට එම ජනකොටසට අනන්‍ය ඔවුන්ගේ සංස්කෘතික වත්පිළිවෙත් අතිශයින් වැදගත්වන්නේ ය.

ජාතික ආරක්ෂාව මගින් ජාතික සංහිඳියාව ද, ජාතික සංහිඳියාව මගින් ජාතික ආරක්ෂාව ද සුරක්ෂිත වන ලෙස, එකක් අනෙක පරයා නොයන පරිදි එ්වායේ නිවැරදි සමතුලිතතාවක් ඇතිකර ගැනීම අවශ්‍යව තිබේ. එ් සඳහා නූතන ආරක්ෂක අභියෝග ජයගන්නා ගමන් තවමත් ගොඩනැගී නැති ජාතික සංහිඳියාව ඇතිකිරීමේ අභිලාශයන් සපුරාගැනීමට උපකාරී වන වඩාත් ශක්තිමත් ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්ති සහ උපායමාර්ග සැලසුම් කිරීම කඩිනමින් සිදුකළ යුතුව තිබේ. මෙරට ජීවත්වන සියලූ ජාතිකත්වයන්ට ජීවත්වන්නට රටක් ඉතිරිකර දීම සඳහා හේතුවන්නා වූ මෙම උදාර අරමුණු සාක්ෂාත් කරගත හැකිවන්නේ උපායමාර්ගික ඉදිරි දැක්මක් සහ නිවහල් චින්තනයක් සහිත මෙම අරමුණු දෙකටම සැබෑ සහ දැඩි කැපවීමකින් හෙබි අත්දැකීම්වලින් පිරිපුන් දුරදක්නා නායකත්වයකට පමණි.

(චමින්ද්‍රි සපරමාදු - නීතීඥවරියක සහ දේශපාලන ක‍්‍රියාකාරිණියකි.)