Saturday, October 19, 2024
Follow Us
අඹ වෑංජනය

මේ අඹ වාරේ නිසා ගෙඩි පිරුණු අඹ ගහක් නැති ගෙවත්තක් නැති තරම්. ඉතින් අඹ ගෙඩි කිහිපයකින් මේ විදිහට රසවත්ව අඹ වෑංජනයක් හදලා බලමු.

මේ සඳහා පැහීගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්, ලියාගත් රතුලූනු ගෙඩි 6-8ක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස් කරල් 2-3ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, බැදගත් උළුහාල් ඇට ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, රස අනුව ලුණු, සීනි මේස හැඳි 1-2ක්, පොල්තෙල් ස්වල්පයක්, මිටි කිරි අඬු කෝප්ප 1 1/4 ක් පමණ සහ දිය කිරි අඬු කෝප්ප 3/4 ක් පමණ අවශ්‍යයි.

අඹ ටික හොඳින් සෝදා පිරිසුදුකර ලෙල්ල පිටින්ම දික් තීරු ලෙස කපාගෙන බඳුනකට දමා ගන්න. එයටම කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු හා ගම්මිරිස් කුඩු දමා අත ගා ගෙන පසෙකින් තබා ගන්න. දැන් මැටි වළඳක් හෝ සුදුසු භාජනයක් ළිප තබා ගෙන එයට තෙල් ටික දමා ළිප තබා ගන්න. තෙල් ටික රත් වීගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල සහ රතුලූනූ එකතුකර ටිකක් බැදෙන්න හරින්න. ඒවා යන්තමින් රන්වන් පාට වීගෙන එන විට එයටම අබ ටික එකතුකර පියනකින් වසාගෙන අබ පුපුරවා ගන්න. අබ පිපිරුණු පසුව එයට පහේ අත ගා ගත් අඹ ටික එකතුකර හොඳින් කලවම්කර විනාඩියක් පමණ පියනෙන් වසා තබන්න. දැන් එයට අමු මිරිස්, උළුහාල් ඇට හා දියකිරි ටික එකතුකර විටින් විට හැඳි ගාමින් පිස ගන්න.

පසුව දියකිරි නටාගෙන එන විට එයට රස අනුව ලුණු එකතුකර ගන්න. අඹ හොඳින් තැම්බී කිරි හිඳීගෙන එන විට එයටම මිටි කිරි ටික ද මිශ්‍රකර උතුරන තෙක් හැඳි ගාමින් අඩු ගින්දරේ පිස ගන්න. ඉන්පසුව රස අනුව සීනි ටික ද එකතුකර ගන්න. අවසානයේ දී කිරි හිඳෙන තුරු හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට හොද්ද උකුවන තෙක් පිසගෙන ළිපෙන් බා ගන්න.

 

Tharunie