Saturday, October 19, 2024
Follow Us

වෙසක් සමය නිසා මාංසවල රස බලන්න විදිහක් නැහැ කියලා හිතුවට ඒ රසම එන වෙජි කට්ලට් එකක් ඒ වෙනුවට බත් බතට එකතුකර ගන්න පුළුවන්.

එහෙනම් වෙසක් සමයට හරියටම ගැළපෙන වෙජි කට්ලට් මෙහෙම හදමු.

පිරවුම සඳහා හීනියට කපාගත් සුදුලූනූ සහ ඉඟුරු තේ හැඳි 1ක්, ලූනූ ගෙඩියක්, අමු මිරිස්, කැරට් අල 2ක්, බෝංචි කරල් කිහිපයක්, ග්‍රීන් පීස් කෝප්ප 3/4ක්, තම්බාගත් විශාල ප්‍රමාණයේ අල  2ක්, කහ කුඩු තේ හැඳි 1ක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කරපිංචා ස්වල්පයක්, කොත්තමල්ලි කොළ කිහිපයක් සහ තෙල් අවශ්‍යයි.

දැවටුම සඳහා පාන් පිටි, වතුර සහ බිස්කට් කුඩු අවශ්‍යයි. අල සහ කැරට් තරමක් තම්බා කුඩාවට කපාගන්න. අමු මිරිස්, බෝංචි, ලූනූ, කරපිංචා, කොත්තමල්ලි කොළ කුඩාවට කපාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා සුදුලූනූ, සහ ඉඟුරු එකතුකර ගන්න. විනාඩියකට පමණ පසුව ලූනූ එකතුකර ගන්න. ලූනූ තැම්බීගෙන එනවිට එයට සියලුම එළවළු ටික එකතුකර ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. කහ කුඩු, මිරිස් සහ ලුණු එකතුකර ගන්න. වතුර කෝප්ප 1/4ක් එකතුකර පියනකින් වසා තම්බාගන්න. ජලය වාෂ්පවී එළවළු හොඳින් තැම්බුණු පසු ළිපෙන් ඉවත්කර සම්පූර්ණයෙන්ම නිවෙන්නට තබන්න. සාදාගත් මිශ්‍රණයෙන් හැන්දකට අල්ලන ප්‍රමාණයෙන් කොටස බැගින්ගෙන බෝල ආකාරයට සාදාගන්න. සාදාගත් බෝල තරමක් පැතලිකර ගන්න.

වෙනත් බඳුනකට පිටි සහ වතුර ස්වල්පයක් එකතුකර බැටරය සාදාගන්න. සාදාගත් කට්ලට් බෝල බැටරයේ දවටා අනතුරුව බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ මදගින්නේ බැදගන්න. මතක ඇතිව තෙල් බේරෙන්නට ටිෂූ පේපර් එකක් මත තබන්න.

පොලිතීන් බෑගයක නිසි පරිදි අසුරා තබා අධි ශීතකරණයක තැන්පත්කර මාසයක් – දෙකක් කල්තබා ගන්න පුළුවන්. බැදීමට පෙර ශිතකරණ ලද කට්ලට් විනාඩි 30-45ක් පමණ කාමර උෂ්ණත්වයේ තබා බැදගන්න.

 

-Tharunie