Sunday, October 20, 2024
Follow Us
වැස්සත් එක්කම එන බුලත්වල මාරයා  - වැස්සත් සමඟ බුලත්වල ලෙඩ වැඩිවෙලාද?

මාර්තු අන්තිමේ පටන් ගත්ත වැස්ස තවමත් තුරල් වෙලා නැහැ. සමහර විට දවසක් දෙකක් පෑව්වට ආයෙත් වහිනව. පටන් ගත්තෙ අන්තර් මෝසමෙන් වුනාට දැන් වහින්නෙ නිරිත දිග මෝසමෙන්. කාලගුණවිද්‍යා බලධාරීන් කිව්ව විදිහට මේ වසරේ නිරිත දිග මෝසම ප්‍රබලයි. ඒ කියන්නෙ බුලත් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වලට කල් අල්ලන වැස්සක් පවතිනව. මේ නිසා කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ හා කළුතර ඇතුළු සෙසු පළාත්වල බුලත් ගොවීන් පරිස්සම් වෙන්න ඕන. ඒකට හේතුව වැස්සත් එක්කම බැක්ටීරියා කොළ පුල්ලි රෝගය හිස ඔසවන නිසයි.

තවමත් බුලත් වවන බොහෝදෙනෙක් බැක්ටීරියා කොළ පුල්ලි මාරයාට බෙහෙත් නැති බව දන්නේ නැහැ. ඒ වගේම බැක්ටීරියා කොළ පුල්ලි මාරයා අදුරන්නෙත් නැහැ. ඒ නිසා බුලත් වවන්නට යන ආධුනික ගොවියන් මේ නිසා මහත් විනාශයකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි අත්දැකීම් සහිත ගොවියන් පවා අදුරේ අතපත ගානව හැරෙන්නට විද්‍යානුකූල යමක් කරන්නේ නැහැ.

රෝගය වැළදුන වහා එය හදුනා ගැනීමට හැකිවූවා නම් ආසාදිත කොළ හා වැල් ඉවත් කර තඹ අඩංගු දිලීර නාශයකයක් බුලත් වැලම හොදින් තෙමෙන්නට ඉසීමෙන් යම් සහනයක් ලබන්නට පුළුවන්. එම ක්‍රියාව දින දෙක තුනකට වරක් කිරීමෙන් ක්ෂේත්‍රය පුරා රෝගය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට උත්සාහයක් දරන්නට පුළුවන්. ඒ අන්දමෙන් තඹ අඩංගු දිලීර නාශකයක් ඉසීම බැක්ටීරියා කොළපුල්ලි රෝගයට බෙහෙතක් වෙන්නෙ නැහැ. නමුත් තඹ අඩංගු සංයෝග මගින් දිලීර විනාශ වන නිසා බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වයට බලපාන දිලීර විනාශ කිරීම ක්ෂේත්‍රය තුළ රෝග ව්‍යාප්තිය පසුබෑමට එක් හේතුවක්. එසේම තඹ සංයෝග බැක්ටීරියාවට ද අහිතකර නිසා එමගින් ද රෝග ව්‍යාප්තිය පාලනයවීමක් සිදුවන බව පර්යේෂණාත්මකව සොයා ගත්තක්.

බුලත් වගා කිරීමේ දී නිතර නිතර ක්ෂේත්‍රයට ගොස් නිරීක්ෂණය කිරීම අතිශය වැදගත් වන්නේ මේ නිසයි. එවිට බැක්ටීරියා කොළ පුල්ලි රෝගය ආසාදනය වූ සැනෙන් එය පාලනය කිරීමට යම් උත්සාහයක් දරන්න පුළුවන්. එහෙත් දින දෙක තුනක ප්‍රමාදයෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන නිසා තඹ අඩංගු දිලීර නාශක ප්‍රමාද වී යෙදීම තේරුමක් නැහැ. තඹ අඩංගු දිලීර නාශක ප්‍රතිකාරයකය යෙදීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය නොවුනහොත් වහා කළ යුත්තේ අනුකම්පා විරහිතව බුලත් වැල් පාමුලට පොල් අතු වැනි ගිනිගන්නා යමක් දමා ගිනි තබා බුලත්වැල් විනාශ කිරීමයි.

බොහෝදෙනෙකුට බැක්ටීරියා කොළ පුල්ලි රෝගය හදුනා ගැනීමට හැකියාවක් නැහැ. එවිට ඔවුන් කරන්නේ රෝගය සම්බන්ධයෙක් කිසිම පියවරක් නොගෙන සිටීමයි. එවිට එම වගාවටත් ආසන්නයේ පවතින සෙසු බුලත් වගාවන්ටත් එය බරපතල තර්ජනයක්. බැක්ටීරියා කොළ පුල්ලි රෝගය වැළදුන බුලත් ක්ෂේත්‍ර විනාශ නොකරන්නේ නම් ඒවා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගන්නටත් නීති සකසා ඇත්තේ සෙසු වගාවන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙසයි.

බොහෝදෙනෙකුට බැක්ටීරියා කොල පුල්ලි රෝගය හදුනා ගැනීමට අපහසුවන ප්‍රධාන බාධාව වන්නේ ඒ සමාන ලක්ෂණ ඇති දිලීර රෝගයක් ද පැවතීමයි. මෙම රෝග දෙකේදීම බුලත් කොළයේ තෙත ගතියක් සහිත පුල්ලි හට ගැනීම ප්‍රධාන ලක්ෂණයක්. එම පුල්ලි තෙල් පැල්ලම් ලෙසත් සමහරු හදුන්වනවා. මෙම පැල්ලම වටා කහ පාට ශ්‍රාවයක් පවතී නම් එය බැක්ටීරියා කොළ පුල්ලි රෝගයයි. කහ පාට ශ්‍රාවය නැත්තේ නම් එය දිලීර ආසාදනයක් ලෙසින් හදුනා ගන්න පුළුවන්.රෝගය බැක්ටීරියා කොළ පුල්ලි ආසාදනය ද දිලීර ආසාදනය ද යන්න වෙනකොට හදුනා ගත හැකි එකම ලක්ෂණය වන්නේ තෙල් පැල්ලම වටා කහ පාට ශ්‍රාවයක් පැවතීමයි. මෙම කහ පාට ශ්‍රාවය අව්ව පායන විට වේලී යන බැවින් උදේ අටට පමණ පෙර ක්ෂේත්‍රයට ගොස් මේ පරීක්ෂාව කළ යුතු වෙනවා.

බැක්ටීරියා කොල පුල්ලි රෝගයට බෙහෙත් නැති නිසා කළ යුතු එකම දේ ප්‍රවේශම්වීමයි. රෝගය වැළදීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ වගාවට යොදන නයිට්‍රජන් ප්‍රමාණයයි. එනිසා අධික ලෙස රසායනික පොහොර යෙදීමත් වෙළෙද පළෙහි ඇති සංයුතිය නොකියන රසායනික පොහොර වර්ග යෙදීමත් නතර කරන්න ඕන ක්‍රියාවක්. කළු බුලත් නිෂ්පාදනයට රසායනික පොහොර අවශ්‍යම නිසා මූලික පොහොර වලින් නිෂ්පාදනය කරගත් නිර්දේශිත ප්‍රමාණයන් හා කාබනික පොහොර යෙදීමෙන් රෝගයෙන් වැළකෙන්නට පුළුවන්. දේශීය පාරිභෝජනයට නිෂ්පාදනය කරන සුදු බුලත් වගාවට නම් රසායනික පොහොර අවශ්‍යම වෙන්නේ නැහැ. ඒවා කාබනික පොහොර වලින් වුවත් සාර්ථකව නඩත්තු කරන්න පුළුවන්.

මේ අතර බැක්ටීරියා කොළ පුල්ලි රෝගය පැතිර යනවා යැයි පවතින මිථ්‍යා විශ්වාස නම් පිළිගැනීම නිවනට හුරු නැහැ. ඒ අනුව පොල් තෙල් හිසෙහි ගා ක්ෂේත්‍රයට යෑම, පුනක්කු ආහාරයට දුන් ගවයන්ගේ පොහොර භාවිතය නුසුදුසු යැයි කියන මත විශ්වාස කළ යුතු නැහැ. නමුත් රෝගය පැතිරී යෑමට හේතුවන ඇත්ත සාධක වැළැක්වීම අතිශය වැදගත්.

කේ.ජී.පි. ශාන්ත මහතා

පර්යේෂණ හා සංවර්ධන සහකාර

අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය:නාරම්මල

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව