Sunday, October 20, 2024
Follow Us
" Industry EXPO 2024 " ට සමගාමීව දේශීයව එකලස් කළ රථ පෙළපාලියක්

අද (ජුනි 19) සිට ජුනි 23 දා දක්වා කොළඹදී පැවැත්වෙන " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය හා මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමය සමඟ එක්ව 3 වන වරටත් සංවිධානය කළ 'රථ වාහන පෙළපාලිය' කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විය.

ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර ලෝටස් වටරවුම, කොටුව, ටෙක්නිකල් හන්දිය, පංචිකාවත්ත,මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත ගමන්කළ මෙම ' වාහන පෙළපාලිය ' ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා දේශීයව වාහන නිෂ්පාදන හා එකළස් කරන සමාගම් 22 ක් විසින් දේශීයව එකළස් කරන ලද වාහන 200 කට ආසන්න ප්‍රමාණයකින් මෙම දැවැන්ත ' රථ වාහන පෙළපාලිය ' සමන්විත විය.

2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව මේ වන විට දේශීය වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් රැසක් තම නිෂ්පාදන ආරම්භ කරමින් මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන, විද්ද්‍යුත් වාහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කර එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ මේ වන විට වාහන නිෂ්පාදන කර්මාන්තයේ පෙරළියක් සිදුකිරීමට අපගේ දේශීය වාහන නිෂ්පාදකයින් සමත්ව ඇති බවයි. එසේම කර්මාන්ත අමාත්‍යාංශය විසින් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදන ඉතිහාසය වෙනස් කිරීමට හැකිවූ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රවාහන , මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝත්පාදන රැසක් පසුගිය කෙටි කාලය තුළදී එළදැක්වීමට හැකියාව ලැබුනු බවයි. තවද මෙලෙස නිෂ්පාදනය කරන වාහන දේශීය වෙළඳපළ පමණක් නොව අපනයනය වෙළඳපළද ඉලක්ක කරමින් නිෂ්පාදනය කිරීමටත් ඉන්ධන පිරිමැසුම්දායි වාහන නිෂ්පාදන වලට යොමු වීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බවද පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ, මහේෂ් අබේසේකර, රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා මෝටර් රථ උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩිමන්ත ජයවර්ධන, මෝටර් රථ එකලස් කරන්නන්ගේ සංගමයේ සභාපති අසේල ලිහිණිකඩුව, රාජ්‍ය නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.