Sunday, October 20, 2024
Follow Us
ශ්‍රීලංගම මෙතෙක් ස්ථිර නොකළ 26014 කට එකවර ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලද අනියම්, කොන්ත්‍රාත්, දෛනික හා පුහුණු පදනම යටතේ සිටි කොන්දොස්තර, රියදුරු, ලිපිකරු ඇතුලු සියලුම තනතුරුවල සිටින අය සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ(12) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙණි.

ශ්‍රී ලංගමට ඓතිහාසික දවසක් සනිටුවහන් කරමින් නව සේවක ව්‍යවස්ථාවට අනුව 26014 එකවර ස්ථිර සේවයේ පිහිටුවීම මෙහිදී සිදුකෙරිණි.

එහිදී පත්වීම්ලාභීන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා “අවුරුදු 66ක් සම්පූර්ණ කරන ලංකා ගමනාගමන මණ්ඩලය ඉතිහාසයේ සුවිශේෂී දවසක්. ලංගමයේ ප්‍රථම වතාවට ඒවා ව්‍යවස්ථාවක් සකස් කර සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීම් ඒවාට තිබිය යුතු සුදුසුකම් බඳවාගත් අයට උසස්වීම් අඩියෙන් අඩිය ලබාදෙන ආකාරය පිලිබදවත් වැටුප් යන ආදිය පිලිබදවත් නිසි තීතියානුකූල ව්‍යවස්ථාවක් සම්මත කරල ඒ සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයිති 26500 ක පමණ වන මහ විශාල සේවක පිරිස ස්ථිර සේවකයින් බවට පත් කිරීමේ ඓතිහාසික දිනය සමරන්නේ.

ඒ නිසා මෙතෙක් කල් අනේකවිද දුක් දොම්නස්ස යටතේ දීර්ඝ කාලයක් තමන්ගේ සේවාව සැලසුවත් කිසි දිනක වර්ජනයක් හෝ උද්ඝෝෂණයක් කරලා මහජනතාවට සපයන සේවාව කඩාකප්පල් වලින් නොකිරීම සම්බන්ධයෙන් ලැබෙන ත්‍යාගයක් ලෙස තමයි මේ පත්වීම ස්ථිර වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.

සේවක ව්‍යවස්ථාවක් නොතිබීම කරන කොට ගෙන දීර්ඝකාලීනව ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ලංගමයේ දේශපාලනික වශයෙන් මැතිවරණ ජයග්‍රහණ පරාජය අනුව බොහෝ සේවකයන්ගේ ජීවිත ඉරණම තීරණය වන තත්ත්වයක් තමයි ඉතිහාසය පුරාම තිබිලා තියෙන්නේ.යම්කිසිම පාර්ලිමේන්තු මැතිවරණයකින් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කළ විට ජයග්‍රහණය කළ පක්ෂය හිතවතුන් ආධාරකරුවන් සියලු දෙනා ජයග්‍රහණයත් සමග පසුවදාම ඇතුලට පැනලා හිටිය කට්ටිය එළවලා වෙනත් කට්ටියක් තනතුරුවල වාඩිවෙනවා. වාඩිවීම් සඳහා සුදුසුකම් තියෙනවාද නැද්ද එසේ වාඩිවීමෙන් ඇතිවන තත්ත්වය කුමක්ද යන්න සලකන්නේ නැතිව අද ඉන්න සමහර උසස් නිලධාරීන් හිටපු තැන් වලට දේශපාලන ජයග්‍රහණයෙන් පසු උපාධිධාරී සුදුසුකම් ඇති කළමනාකරණ සේවය ඉහළ තනතුරුවලට ඩිපෝ ඇතුළේ හිටපු සාමාන්‍ය සුදුසුකම් නැති තැනැත්තන් ගෙනල්ලා ඩිපෝ අධිකාරි කරපු ඉතිහාසයක් වාර්තා වෙලා තියෙනවා.

එක දේශපාලන පක්ෂයක් නොවෙයි ඒ වර්ෂයේ පරාජයට පත්වන පක්ෂය නැවත බලයට පත්වෙන අවස්ථාවේ අර පත් වෙච්ච කට්ටිය එලවලා ඒ කට්ටිය වාඩි වෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ කිසිදු සේවකයෙක් බලහත්කාරයෙන් දොට්ට දාන්න බැරි ව්‍යවස්ථාවක් අපි සම්මත කරලා තියෙනවා.ඒ නිසා රටේ ජනාධිපති කවුරු වුණත් විෂය භාර ඇමතිවරයා කවුරු වුණත් තනතුරු සඳහා සුදුසුකම් නැති කෙනෙක් බඳවාගන්න බැහැ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහත්වරුන් ඇතුලු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, වෘත්තීය සමිති ප්‍රධානීන්, පත්වීම් ලිපි ලාභීන් ඇතුලු පිරිසක් එක්විය.