Sunday, October 20, 2024
Follow Us
වතු ජනතාවගේ සෞඛ්‍යට “සතුටු වතු” (Happy Estate) වැඩසටහන ඇරඹේ 

වතු ක්ෂේත්‍ර‌යේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. 

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙන වතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සංවිධානය කෙරේ.

 මෙහිදී වතු ජනතාවගේ සෞඛ්‍ය ගැටලු හදුනාගෙන  කායික, මානසික, සාමාජීය, අධ්‍යාත්මික සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය ඉහළ නංවමින් ඔවුන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර නීරෝගීමත් ජනතාවක් ලෙස බලගැන්වීම මෙම වැඩසටහනේ  ප්‍රධාන අරමුණයි.

අද දින කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණේ එම “සතුටු වතු” වැඩසටහනේ සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු අදියරයි. දිවයින පුරා වතු 460 ක් පමණ වන අතර,  මෙම වැඩසටහනේ පළමු අදියර සදහා වතු 45 ක් තෝරාගෙන ඇති අතර, ඉන් වතු 07 ක්ම පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේය. මෙරට පළාත් 05 ක, දිස්ත්‍රික්ක 11 ක  මුළු ජනගහනයෙන් සියයට 05 ක පමණ ජනගහනයක් එනම් මිලියනයක පමණ ජනගහනයක් වතු ආශ්‍රිතව ජීවත් වේ. 

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද දින ආරම්භ කළ මෙම නව වැඩසටහනට අනුව මාස 06 ක් ඇතුළත සියලු වතුවල පවතින තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වනු ඇති බවයි. නියමු ව්‍යාපෘතිය යටතේ මෙම වසර් වතු 45 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ලබන වසරේ 400 ක් පමණ වන සියලු වතු ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ද  ලේකම්වරයා මෙහිදී පැවසීය. වතු සෞඛ්‍ය ද අනෙකුත් සෞඛ්‍ය පද්ධති මට්ටමට ගෙන ආ යුතු බව ද මෙම පරිවර්තනය කළ යුතුම දෙයක් බව ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.