Sunday, October 20, 2024
Follow Us
තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගැන  වෙළෙඳසැල් දැනුම්වත් කරයි

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන්හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.

මෙහිදී, පොලිතීන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සම්බන්ධයෙන් අත් පත්‍රිකා ද බෙදා දෙමින් වෙළෙඳ මහතුන් දැනුම්වත් කළ අතර නීති විරෝධී පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන විකිණීමට තිබේ ද යන්න පිළිබඳව සොයා බලා වාචික අවවාද කිරීම් ද සිදු කෙරිණ. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් පැවැති මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන, රජය ප්‍රකාශයට පත් කළ    “ජගත් පරිසර සතියට” සමගාමීව ජූනි මස 04 වැනි දිනට යෙදී තිබුණු “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” වෙනුවෙන් සංවිධාන කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබිණි. නීති විරෝධී පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට එක්වීම වැළැක්වීම මගින් පරිසර සංරක්‍ෂණයට පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණයි.