Sunday, October 20, 2024
Follow Us
පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ප්ලාස්ටික් බෝතල් එකති කිරීම බඳුන් ලබා දෙයි 

ජූනි 05 වැනිදාට යෙදී තිබුණු ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්‍රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05)  සිදුවිය.

පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා විශාල ප්‍රමාණයේ බඳුන් ලබාදීම කොකා කෝලා ශ්‍රී ලංකා ආයතනයේ මුල්‍ය පරිත්‍යාගයෙන් සිදුවිය.

මෙම බඳුන්වල එක් රැස්වන ප්ලාස්ටික් බෝතල් එකෝ ස්පින්ඩල් පුද්ගලික ආයතනය විසින් මිලදී ගන්නා අතර එම මුදල් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සුබ සාධනය සඳහා වන ගිණුමකට ඔවුන් විසින් බැර කිරීමකට සැලසුම් කර ඇත.

කොළඹ, ගම්පහ, රත්නපුර, මාතලේ සහ අම්පාර යන දිස්ත්‍රික්ක පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර ආදර්ශ දිස්ත්‍රික්ක බවට පත්කිරීම සදහා වන මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වැඩපිළිවෙලෙහි එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ප්ලාස්ටික් පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරන මෙරට සිටින ප්‍රධානම ආයතනයට සාධාරණ මුදලකට සෘජුවම ලබාදීම මඟින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ එක් රැස්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය 100%ක්ම ප්‍රතිචක්‍රීකරණය වීම තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙහිදී අදහස් දක්වමින් කථානායක‍ මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ජගත් පරිසර දිනයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කාලීන වශයෙන් ඉතා වැදගත් අංගයක් බවයි. පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙවැනි වැඩසටහන් තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව ද කථානායකවරයා පැවසීය. එසේම මේ සදහා දායකත්වය දුන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු සියලු පාර්ශ්වවලට සිය ස්තූතිය පුද කරන බවද අබේවර්ධන මහතා පැවසීය.

එසේම මෙම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පවසා සිටියේ නිර්මාණශීලි අදහස් සමගින් පරිසරය සුරැකීමේ මෙම වැඩසටහන මගින්  ජගත් පරිසර දිනය වඩාත් අර්ථවත් වන බවයි. එසේම කසළ කළමනාකරණය මගින් විදේශ විනිමය උපයා ගැනීම මෙන්ම මෙරට ධනය විදේශයන්ට ගලා යෑම වළක්වන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. එසේම මේ සදහා මැදිහත් වූ ආංශික අධීක්ෂණ කාරක සභාව ඇතුළු  සියලු දෙනාටම ඒ මහතා සිය ස්තුතිය පුද කළේය.

මෙහිදී අදහස් දැක්වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ ප්ලාස්ටික් බෝතල් 4000කට ආසන්න ප්‍රමාණයක් මාසිකව පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඇතුළු කටයුතු සදහා රැගෙන එන බවත් ඒ අනුව මෙම ව්‍යපෘතිය පරිසරය සුරැකීම සදහා අතිශය වැදගත් වන බවයි.  ලංකාවට පෙට් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් 1600 ක් මාසිකව ආනයනය කරන බවත් ඉන් නිෂ්පාදන සඳහා භාවිත වන ටොන් 400කට ආසන්න ප්‍රමාණයක් අපනයන කරන බවත් තවත් ටොන් 400ක් භාවිතයට ගෙන ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව තවත්  ටොන් 800ක්ම භාවිතයෙන් පසු  ඇළ දොළ ගංගාවලට එකතුවන බැවින් මෙවැනි ව්‍යාපෘති අතිශය වැදගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. වත්මන් තත්ත්වය අනුව ප්ලාස්ටික් යනු අත්‍යවශ්‍ය දෙයක් බැවින් එය නිසි ලෙස කළමනාකරණය කිරීම සියලු දෙනා සතු වගකීමක් බව ද ඔහු පැවසීය.