Sunday, October 20, 2024
Follow Us
ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. 1972 ජුනි මස 5 වන දින සිට 16 වන දින දක්වා ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය සුරැකීම පි්ළිබදව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා  කර සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා දිනෙන් දින පැන නගින ගෝලීය පාරාසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් එක් එක් වර්ෂයන්හි දී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.

ඒ අනුව ‘’ඵලදායි භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’’  යන ජාතික තේමාව යටතේ මැයි 30 වන දින සිට ජුනි මස 05 වන දින දක්වා  වූ ජාතික පරිසර සතියට සමගාමීව දිවයින පුරා පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු සියලු රාජ්‍ය ආයතන , පාසල්,  පෞද්ගලික අංශය  වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය ආදී සංවිධානවල මූලිකත්වයෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි. පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියලු ම ආයතන මෙම වැඩසටහන් හා සම්බන්ධ වූ අතර මධ්‍යම පරිසර අධිකාරිය මගින් සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාක්මක කිරීම ද විශේෂත්වයකි. 

ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම වියදම් ආපදාවන්ට ලක් වූ ජනතාවට ලබා දීමට තීරණය කෙරිණි.