Sunday, October 20, 2024
Follow Us
ජාතික පරිසර දින සැමරුම් උළෙලට වෙන් කළ මුදල් විපතට පත් ජනතාවට

එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම බව ද සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ වන විට ඇතිව තිබෙන අයහපත් කාලගුණය නිසා විශාල පිරිසක් අවතැන් වී සිටිනවා. රජයක් ලෙස ඔවුන්ට සහන සැළසීමට අප ආරම්භ කර තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම අවතැන් වූ පිරිස් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම ගංවතුර පහව යාමත් සමඟ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා ඉක්මණින් සිදු කරන ලෙස සියළුම පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. ඒ සමඟම ඩෙංගු වැනි වසංගත රෝග පැතිරයාමේ අවදානමක් ද තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද අප විසින් අදාළ නිළධාරීන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ආපදාවට පත්ව ඇති පාලම්, බෝක්කු සහ මාර්ග පිළිසකර කරන ලෙස ද දැනුම් දී අවසන්.

ආපදාවන්ගෙන් හානියට පත්වූ පවුල් සහ ප්‍රදේශවල සංවර්ධන සහ සුබසාධනය වෙනුවෙන් පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ දී මුදල් පිළිබඳව අවධානය නොකර ඊට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බව ද සඳහන් කළ යුතුයි.

නමුත් මේ අවස්ථාවේ ඇතැම් පිරිස් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරනවා. නමුත් සිදුවිය යුත්තේ එය නොවෙයි. මෙම අවස්ථාවේ විවේචනයන්ට වඩා වැදගත් වන්නේ සියළු දෙනාම එක්වී අවතැන් ජනතාවට මුදා ගැනීම සඳහා කටයුතු කිරීමයි.

ඒ වගේම ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එය පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා රජයක් ලෙස, කුමන කාරණා වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ද කියා සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ බළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ වගේම හෙට (04) සිට දින 10ක් තුළ පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර පත්වීම් ලබා නොමැති සේවකයන් 8400කගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම මෙම කටයුත්ත කඩා කප්පල් කිරීම සඳහා පිරිසක් කටයුතු කරමින් සිටින බව ද මේ වන විට අපට අනාවරණ වී තිබෙනවා. ඒ නිසා කවර තත්ත්වයක් යටතේ වුවද රජය සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කරන ලෙස ද මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල තවද ජූනි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණා. නමුත් එම සැමරුම් උළෙල අවලංගු කර ඒ සඳහා වෙන්කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

නමුත් ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැල දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ කටයුත්ත අප විසින් සිදු කරනවා. ඒ වගේම ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙලට සමගාමීව සෑම නිවසකම එක් පැලයක් රෝපණය කරන ලෙස ද ඉල්ලා සිටිනවා.