Sunday, October 20, 2024
Follow Us
 ISTRM පුත්තලම දිස්ත්‍රික්කයේ රැස් වෙයි

1983 සිට 2009 දක්වා කාලය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ගැටළු සොයා බැලීම මෙන්ම ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමේ අරමුණින් සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) 2024 මැයි 13 වනදා සිට මැයි 15 වනදා දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාවක් පවත්වන ලදී.

මෙම තෙදින රැස්වීම් මාලාව අතරතුර දී, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් පුත්තලම ජනතාවට ඇති ප්‍රධාන ගැටළු සහ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සමඟ රැස්වීම් වාර 09ක් පවත්වනු ලැබීය.

පරිපාලන අභියෝග සහ සම්පත් ප්‍රතිපාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැයි 13 වන දින මෙම කණ්ඩායම පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.එස්.ජී.කරුණාරත්න මහත්මිය හමුවිය.

ඊට අමතරව, ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහා මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ කටයුතු සහ අරමුණු පිළිබඳ නවතම තොරතුරු පැහැදිළි කිරීමක් ද සිදු විය. වනාතවිල්ලුව සහ කල්පිටිය ගම්වාසීන් සමඟ ඔවුන්ගේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී පවත්වන ලද රැස්වීම් වලදී ප්‍රාදේශීය ගැටලු පිළිබඳව අවධානය යොමු කරනු ලැබූ අතර, සිරම්බිඅඩියේ ශ්‍රී ලාංකික අප්‍රිකානු ප්‍රජාව සමඟ කළ සාකච්ඡා වලදී ඔවුන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග පිළිබඳව ද සොයා බලන ලදී.

යෝජිත නීති සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ ප්‍රතිචාර එක් රැස් කිරීම සඳහා මෙම කණ්ඩායම මැයි 14 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් සමඟ ද පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වීය.

හිටපු හමුදා නිලධාරීන්, සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන්, ජනසභා සාමාජිකයන් මෙන්ම ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලීය සාමාජිකයන් සමඟ ද පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර සමාජ සහ පරිපාලනමය අවශ්‍යතා රාශියක් එහිදී සාකච්ඡා කරන ලදී.

මීට අමතරව, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභා ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී පුත්තලම දිස්ත්‍රික්කයේ පාලනය හා සම්පත් කළමනාකරණය පිළිබඳ වන ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි. අවසාන දිනය වූ එනම් මැයි 15 වනදා කණ්ඩායම මොහොතුවරම් ධීවර ගම්මානයේ ගම්වාසීන් සමඟ එක්ව ඔවුන්ගේ විශේෂිත ගැටළු විසඳීම පිළිබඳ ව සාකච්ඡා කළහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල පවතින සම්පත් හිඟය සහ ගුරුවරුන්ගේ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයට බලපෑම් එල්ල වෙමින් පවතින බව මෙහිදී අනාවරණය කෙරිණි.

එසේම පාංශු ඛාදනය වැළැක්වීම සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉඩම් වෙන්කරවා ගැනීම යන කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් පුත්තලමේ පැවැත්වූ රැස්වීම් මගින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන අභියෝග කිහිපයක් පිළිබඳ අවධානය යොමු කෙරණු අතර
ජනතාවට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි.

ජනතාවගේ දුක් ගැනවිලි විසඳීම සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ඉදිරි කටයුතු සඳහා මෙහි දී රැස් කරගත් තොරතුරු ඉතා තීරණාත්මක ලෙස උපකාරී වනු ඇති බව එහි නියෝජිතයන් පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා, සම්බන්ධීකාරක සරත් කොතලාවල , විධායක නිලධාරී (මහජන සම්බන්ධතා) දනුෂි ද සිල්වා සහ සෞම්‍යා වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (නීති) වයි.එල්. ලොකුනාරංගොඩ යන මහත්ම මහත්මීන් සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.