Sunday, October 20, 2024
Follow Us
ඩෙංගු සතියට අමතරව ඩෙංගු මර්දනයට තවත් ඉදිරි සති දෙකක කාලයක්

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්ධන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාළයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු  සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේබව අවධාරණය කරන ලද්දේ ජාතික මදුරු මර්දන සතියේ අවසන් දිනය වූ ඊයේ  (01) පස්වරුවේ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආපදා කළමණාකරණ ඒකකයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්ය. 

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් මැයි මස 26 දින සිට ජුනි මස 01 දින දක්වා කාළය ජාතික මදුරු මර්දන සතියක් ලෙස ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දුන් උපදෙස් මත එම සතිය ප්‍රකාශයට පත් කෙරිණි.

එම සතියක කාළය තුලදී අවදානම්  දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික්ක 16 ක්  සහ  අවධානම් කළාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 71 ක් හදුනා ගත් බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

එම කාළය තුළදී  ස්ථාන 93974 ක් අධීක්ෂණය කල බවත්, එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 28310 ක් පමණ වාර්ථා වි තිබෙන බවත්, මදුරු කීටයින් සිටින ස්ථාන 4890 ක් හදුනාගෙන තිබෙන බවත් පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා එම ස්ථාන එම මොහොතේම  පිරිසිදු කිරීමට කටයුතු කරමින්  එම තත්ත්වය මග හරවා ගැනීමට කටයුතු කල බවත්, රතු නිවේදන 3121 ක් නිකුත් කර තිබෙන බවද, නඩු 981 ක් ස්ථාන හිමියන්ට පැවරීමට කටයුතු කර තිබෙන බවත්, මදුරුවන් බෝවන ස්ථාන 20130 ක් පිරිසිදු කිරීමේ කටයුතුද සංවිධානය කර තිබුණු බවද කීය. 

එමෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වන විට එම රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ධූමායන කටයුතු මෙන්ම මදුරු කීටයන් විනාශ කිරීමේ කටයුතු සිදු කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවද, මදුරු මර්දන හා අධීක්ෂණ කටයුතු සදහා එම ප්‍රදේශ වල සහය ලබාදෙන  ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය,සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ස්වේච්ඡා ආයතන වල සියලු දෙනාට සහය ලබාදීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සිය ස්තූතියද පුද කල ලේකම්වරයා ඉදිරියටත් එම සහය අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම විශේෂ සාකච්ඡාමය අවස්ථාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අසංක වෙදමුල්ල , විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය  නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ.