Sunday, October 20, 2024
Follow Us
බෞද්ධ ධර්මය පිළිබඳව අවධානය යොමු වෙයි

 

මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය. 

ඒ එම පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

මේ සඳහා පූජ්‍ය ගලගම කුසලධම්ම් හිමි, පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චන්න ජයසුමන, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, වෛද්‍ය මනොජ් කුමාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉසුරු උපනාද, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ශකිල රාජකරුණා, ශාන්ත කුමාර යන මහත්වරුන් සහභාගී විය. 

එයට අමතරව මිස්සක කමලසිරි හිමි සූම් තාක්ෂණය ඔස්සේ ඇමරිකාවේ සිට කාරක සභාව වෙත සම්බන්ධ වූහ.

මෙහි දී සභාපතිවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් උක්ත කරුණ සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවයි. 

ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිය සංසදයේ අරමුණ බව ද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

මෙහි දී, බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරිණි. 

බෞද්ධ දර්ශනය විකෘති කොට සම්පාදනය කරනු ලබන ග්‍රන්ථ විශාල වශයෙන් ජනගත කෙරෙන බව ද පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වමින් පෙන්වා දුන්හ.

මෙසේ විකෘති දත්ත සහිත ග්‍රන්ථ ජනගතවීම මගින් බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අදහස් ජනතාව අතර පැතිරෙමින් පවතින බවද උන් වහන්සේලා පෙන්වා දුන්හ. 

එමගින් භික්ෂු ශාසනය, පැවිදි උපසම්පදාව මෙන්ම ශාසන චාරිත්‍ර ආදී කාලාන්තරයක් තිස්සේ ආරක්ෂා කරන ලද සංකල්ප පිළිබඳ අප්‍රසාදයක් ඇති වන අයුරින් මෙම ප්‍රචාරණයන් සිදු කරන බව ද මෙහි දී සාකච්ඡා කෙරිණි. 

මේ නිසා බුදුරජාණන් වහන්සේ යනු මන:කල්පිත චරිතයක් බවට ජනතාවට ඒත්තු ගන්වා බෞද්ධ ශාසනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමිම සිදුවන බව ද ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වා දෙන ලදී.

මෙයට අමතරව බෞද්ධ දර්ශනයට, බුද්ධ චරියතයට අපහාස කරමින් ප්‍රචාරයන් ගෙනයන පිරිස් මෙරට මෙන්ම වෙනත් විදේශ රටවල ද විවිධ ව්‍යාපාරවල නියැලෙමින් විශාල ලෙස ධනය යොදවමින් මෙම කාර්යය සිදුකරන බව පැමිණ සිටි පිරිස පෙන්වා දුන්හ. මෙය ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැට්ටීම සඳහා ගෙනයන කිසියම් කුමන්ත්‍රණයක එක් මුහුණුවරක් වියහැකි බැවින් සමස්තයම සලකා බලා පියවර ගත යතු බවත් ඔවුහු පෙන්වා දුන්හ. 

මෙම ක්‍රියා හේතුවෙන් සමාජ ප්‍රචණ්ඩකරණය හා සංස්කෘතික බිඳ වැට්ටීම සිදුවන අතර ඒමගින් මෙරට තුළ පුද්ගලයා, පවුල, ආයතන සහ අවසානයේ සමස්ථ සමාජයම බිඳවැටීම සිදු විය හැකි බවත් ඒ නිසා මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඔවුන්ගේ අදහස විය.

මේ තත්ත්වය වැලැක්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීය පදනමට බලපාන ඓතිහාසික මූලාශ්‍ර විකෘති කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් කළ යුතු බව විද්වත්හු ‍මෙහි දී පෙන්වා දුන්හ. 

මෙහි දී සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරිපත්වන සියළු යෝජනා සහ අදහස් ඒකරාශි කොට බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍යා මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමේ ප්‍රචාරයන් වැලැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සංසදය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.