Sunday, October 20, 2024
Follow Us
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීමට  අවස්ථාවක්

එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී   ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. ඒ අනුව, එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් නොමිලේ භාර දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ මධ්‍යස්ථාන 28ක් ද දකුණු පළාත තුළ මධ්‍යස්ථාන 39ක් ද නැගෙනහිර පළාත තුළ මධ්‍යස්ථාන 14ක් ද ඌව පළාත තුළ මධ්‍යස්ථාන 16ක් ද විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මෙම වැඩසටහනට අදාළව පිහිටුවා ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍ෂණික දුරකථන අංකය වන 1981 ඇමතීමෙන් හෝ මේ සඳහා පත් කර ඇති මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ඇමතීමෙන් එක් එක් දිස්ත්‍රික්ක වල මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ලබා ගත හැකිය. (කොළඹ - සංජීව මහතා - 0718418074, කළුතර - කල්පනී මහත්මිය - 0713101878, ගම්පහ - උපුල් මහතා - 0776906657, මාතර - සීකුබදු මහතා 0716865796/ පලිහක්කාර මහතා - 0714395981, ගාල්ල - ලලිත් මහතා - 0718352889, හම්බන්තොට - ධනුෂ්ක මහතා - 0718442950, මඩකලපුව - සතීස් මහතා - 0743096894/ ඇන්ටන් මහතා - 0769877849, අම්පාර - කිත්සිරි මහතා - 0773317710, ත්‍රීකුණාමලය - රාෆි මහතා - 0772389855/ කාදර් මහතා - 0779688899, මොනරාගල  - බණ්ඩාර මහතා - 0718291798/ කුමාර මහතා - 0711782211, බදුල්ල - මාරසිංහ මහතා - 0714189936/ ප්‍රේමරත්න මහතා - 0760968110.)  

          

සංයුක්ත ප්‍රතිදීප්ත (CFL බල්බ), රේඛීය ප්‍රතිදීප්ත පහන් (Tube බල්බ), CRT මොනිටර්ස්, කොටස් කර ඇති හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද පස්, වැලි හා මඩ තැවරී ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද හැර  අනෙකුත්  විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම වැඩසටහනේ දී භාර  ගනු  ලැබේ.  එලෙසම  කර්මාන්තායතන, වෙළෙඳසැල් මගින් විශාල ප්‍රමාණවලින් ගෙන එනු ලබන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම වැඩසටහනේ දී භාර නොගන්නා අතර ගෘහස්ථ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පමණක් භාර ගනු ලැබේ. 

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට හා නිසි පරිදි බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදෙන උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රලාභී ආයතන හරහා පමණක් මෙලෙස එක්රැස් කරනු ලබන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපහරණය කිරීම සිදු කරයි. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්‍ෂිත ලෙස කොටස්වලට වෙන්කර ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික්, යකඩ වැනි කොටස් මෙරට දී ප්‍රතිචක්‍රීකරණයට යොමු කරනු ලබන අතර ඉතිරි කොටස් අදාළ ප්‍රතිචක්‍රීකරණ හා නිෂ්කර්ෂණ පහසුකම් සහිත රටවලට අපනයනය කරනු ලැබේ. එහිදී ජාත්‍යන්තර සම්මුතීන්ට (බාසල් සම්මුතියට) අනුකූලව මෙම අපනයන කටයුතු සිදුකරනු ලැබේ. 

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම මගින් මිනිසුන්ට, සත්වයින්ට, ශාකවලට මෙන්ම පරිසරයට  ද සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් ගෘහස්ථ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්  රැස්  කිරීමේ  මෙම  වැඩසටහන සංවිධාන කර ඇත. භාවිතයේ පහසුව සහ තම කාර්යයන් පහසුකර ගැනීම  සඳහා  මිනිසුන්  විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට ප්‍රියකරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ද විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර දිනෙන් දින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයේ ප්‍රවණතාව ද වැඩිවෙමින් පවතී. එලෙසම, අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණවල ආයුකාලය ද අඩුවෙමින් පවතී. මෙම තත්වය හමුවේ ජනනයවන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකියයුතු ලෙස ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. සියලුම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොණික උපාංගවල රසදිය, ඊයම්, කැඩ්මියම්, ඇන්ටිමනි, බෙරලියම්, ආසනික් වැනි බැර ලෝහ වර්ග හා වෙනත් විවිධ වූ විෂ රසායනික අඩංගුවන බැවින් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කළහොත් මිනිසාගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම සත්වයින්ගේ පැවැත්මට ද පරිසරයට ද හානි පමුණුවයි. තවද, මෙම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල අන්තර්ගත වන බැර ලෝහ සහ අනෙකුත් උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් ගංගා ජලය සමඟ මුසුවන බව පර්යේෂණ අනුව තහවුරුවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍යමය සහ පාරිසරිකමය වශයෙන් බරපතල හානිකර තත්වයන් ඇතිවේ. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් රජය ප්‍රකාශයට පත් කර ඇති “ජාතික පරිසර සතිය”ට සමගාමීව සිදුකරනු ලබන පරිසර සුරක්ෂිතතා වැඩසටහනක් ලෙස විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙම වැඩසටහන සංවිධාන කර ඇත.