Sunday, October 20, 2024
Follow Us
ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට(මැයි 31) යෙදී ඇත.

“දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව යි. දුම්වැටි නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් අකාලයේ මරණයට පත් වන අතර වසරකට ශ්‍රී ලාංකිකයන් 20 000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක් (අසූ ලක්ෂයක්) දුම්වැටි නිසා  අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මින් ලක්ෂ නමයකගේ ම ජීවිත අහිමි වන්නේ දුම්වැටි භාවිත කරන්නන් අසළ සිටීම හේතුවෙනි. 

දුම්කොළ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත වැඩි වැඩියෙන් ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කරයි. මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ දී දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ වැඩි අවධානයක් දක්වයි. ඒ කුඩා කාලයේ සිට දුම්වැටිය පිළිබඳ ධනාත්මක අදහසක් දරුවන්ගේ මනස තුළ ඇති කරමින් ඔවුන් දුම්වැටි සමාගම්වල පාරිභෝගිකයන් බවට පත්කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රචාරණ කටයුතු නිසාවෙනි. එම ප්‍රචාරණයන් සඳහා දුම්කොළ සමාගම් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වියදම් කරයි.

ශ්‍රී ලාංකික දරුවන් සහ තරුණ තරුණියන් දුම්වැටි භාවිතයට යොමු කිරීම සඳහා කූඨ උපක්‍රම ගණනාවක් අප රට තුළ ද බහුජාතික දුම්කොළ සමාගම් මේ වන විටත් දියත් කරමින් සිටියි. සමාජ මාධ්‍ය ජාල සහ පුවත්පත්, රූපවාහිනිය, ගුවන් විදුලිය හරහා දුම්වැටි භාවිතය ළමුන් සහ තරුණයන් අතර ආකර්ෂණීය භාණ්ඩයක් බවට පත්කිරීම,

සමාජ මාධ්‍ය (Facebook, Instagram, YouTube ) හරහා දුම්කොළ සමාගම්වලින් වැටුප් ලබන සමාජ ක්‍රියාකාරීන්  (Influencers) යොදා ගනිමින් තරුණයන් හට බලපෑම්  කිරීම,දුම්වැටිවලට තරුණයන් අතර ඇති ආකර්ෂණය අඩු වෙමින් පවතින නිසා එම අහිමිවන වෙළඳපොල පවත්වා ගැනීම සඳහා විද්‍යුත් සිගරට් (E-Cigarette) හඳුන්වා දීම,විවිධ නාම (Brand Name), විවිධ රසවර්ග (Flavors) යොදා ගනිමින් දුම්වැටි භාවිතය ප්‍රවර්ධනය කිරීම, අඩු මිලට සිගරට් වර්ග හඳුන්වා දීම ආදිය ඉන් ප්‍රධාන වේ.

 

වර්තමානයේ සිගරට්වලින් ඈත් වෙමින් යන අපේ රටේ තරුණයන් නැවතත් සිගරට් තුළ රඳවා ගැනීමටත්, දුම්කොළ කර්මාන්තය, තම ව්‍යාපාරය පවත්වා ගෙන යාම සඳහාත් විවිධ පර්‍යේෂණ සිදු කරමින් සිටී. ඔවුන් තම නිෂ්පාදන වෙනස් කරමින් ඒ වටා නව පාරිභෝගිකයන් එකතු කරගැනීමටත් සහ දැනට භාවිතයේ සිටින නමුත් භාවිතයෙන් ඉවත්වීමට උත්සාහ කරන පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දරමින් සිටියි.

තරුණයන් සහ ළමුන් දුම්වැටි භාවිතයට හසුකර ගැනීම අවම කිරීම සඳහා එක දෙක වශයෙන් සිගරට් අලෙවිය තහනම් කිරීම, දැනටමත් තහනම් කර තිබෙන වෙළඳපොළේ ඇති සියලුම ආකාරයේ විද්‍යුත් සිගරට් (E-Cigarette) අත්අඩංගුවට ගැනීම සහ අලෙවි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපන ආයතනයක සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවිිය තහනම් කිරීම වැනි යෝජනා මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මේ වන විට ඉදිරිපත් කර ඇත.