මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 20,000ක් සමඟ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 180,00ක් මහජනතාවගේ ආරක්ෂාව සහ පහසුව සඳහා යොදවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසූවේ වෙසක් උත්සවය නිමිත්තෙන් බැතිමතුන් එක්රැස් වන සියලුම ස්ථාන පොලිසිය විසින් හඳුනාගෙන ඒ සඳහා උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති බවය.
දන්සල් අවසානයේ ජෝගී නැටීම තුළින් ජනතාවට සිදුවන අපහසුතා හේතුවෙන් එවැනි ස්ථාන සම්බන්ධයෙන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සමඟ පොලිසිය අවධානයෙන් සිටින බවත් දන්සල් අවසානයේ ඉතිරිවන කුණු කසළ නිසි පරිදි බැහැර කරන්නේදැයි විමසිල්ලෙන් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. තොරණ සහ දන්සල් සඳහා එක් වීමේදී කාන්තාවන්ට දරුවන්ට වන හිරිහැර සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් පොලිස් නිලධාරීන්ද යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
මහජනතාවට අවහිරි වන පරිදි නළා පිඹිමින් යතුරුපැදිවල හිස් වැසුම් නොමැතිව ගමන් කරන පුද්ගලයන් මෙන්ම ත්‍රිරෝද රථවල විශාල පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන්ද පොලිසිය දැඩි විමසිල්ලෙන් පසුවන බවද පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයිද කීය.
සෞඛ්යාරක්ෂිත බව මෙන්ම ජනතාවට පිරිසිදු ආහාර පාන ලබාදීම දන්සල්වලින් සිදු කෙරෙන්නේද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන අතර දන්සල් අසල වාහන නැවැත්වීමේදී ගමනාගමනයට අවහිර නොවන අයුරින් කටයුතු කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.