තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 160ක (රු.මිලියන 1600ක) මුදලක් මෙවසර තුළ වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
මේ යටතේ මෙරට දිස්ත්‍රික් 25 තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 6 බැගින් ස්ථාපිත කෙරෙන අතර, එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් පෙරේදා (16) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පළාත් කෘෂිකර්ම නිලධාරීහු සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරීහුද එක්ව සිටියහ.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණ වන අතර, මේ වැඩ සටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයනය ඉලක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීමද අරමුණු අතර වේ. එළවළු, පලතුරු, අනෙකුත් භෝග වර්ග, වැවිලි භෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මේ ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ අප රටේ ගොවිතැනින් තරුණ ප්‍රජාව ඈත් වෙමින් සිටින තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගැනීමට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතු බවත් මේ සම්බන්ධව තමා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ අතර විශේෂයෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක්ද ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා මෙහිදී පැවැසීය. මේ සම්බන්ධව රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බැවින් මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි යැයිද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.