Monday, October 21, 2024
Follow Us
ඔසුසල ජාලයේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඔසුසල ජාලයේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අම්බලන්ගොඩ රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 55 වන ඔසුසල ලෙස අංක 24, ගාලුපාර, අම්බලන්ගොඩ ස්ථානයේ ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා ඇත.

මෙම අවස්ථාවට එක්වෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කථා කරන විට මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ නම ඉතා ඉහළින් කියවෙන බවයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන බවත්, සාධරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාගැනීමට මෙම ඔසුසල මගින් හැකියාව ලැබෙන බවද පැවැසීය. මෙම කටයුත්ත ආරම්භ කළ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගමට තවමත් රාජ්‍ය ඔසුසලක් නොමැති විම අඩුවක් බවත්, කඩිනමින් ඒ සදහා ද කටයුතු සිදු කරන ලෙස ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට පෙන්වා දෙන ලදි.

මෙම වසරේ අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 407 ක් සෞඛ්‍ය සදහා රජය වෙන් කර ඇති බවත්, ඖෂධ සදහා බිලියන 180 ක මුදලක් වෙන් කර ඇති බව ද පැවසීය. නිදහසින් පසු මෙරට කිසිම රජයක් අයවැය කළමණාකරණය කරගෙන ක්‍රමාණුකූලව මුදල් ප්‍රතිපාදන වැඩි කළා මිස අඩු කර නොමැති බව ද පැවැසීය. නිදහසින් පසු වසර 70 ක් තුල අතිවිශිෂ්ට සමාජ පරිවර්ථනයක් සිදුව ඇති බවත්, එම පරිවර්ථනය මෙම කළාපයේ කිසිම රටක් අත්කරගෙන නොමැති බව ද පැවැසිය. අඩුපාඩු පමණක් පෙන්වා නොදී සෞඛ්‍ය සේවාවේ සිදු කරන වැදගත් මෙහෙවර ජනතාව අතරට ගෙනයාම මාධ්‍ය සතු වගකීමක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා අබ වැපුරුවොත් අබ ලැබෙන බවත්, තල වැපුරුවොත් තල ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.

රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා රෝහල් ශක්තිමත් කරනවා මෙන්ම ඒ සදහා අවශ්‍ය ගුණාත්මක ඖෂධ ලබාදීමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුඛ්‍ය පරමාර්යක් බව පැවසූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කිය සිටියේ රෝහල් බාහිර රෝගි අංශයට පැමිණෙන රෝගීන්ට නොමිලේ ඖෂධ

ලබාදෙනවා මෙන්ම මිල මුදල් ගෙවා ඖෂධ ලබාගත හැකි ජනතාවට ගුණාමක ඖෂධ අඩු මුදලකට ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි. 1971 වසරේ මෙම සංස්ථාව පිහිට වූ බවත්, නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුල ගුණාත්මක ඖෂධ ලබාදීමේ දී ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ රටවල් දෙක අතරින් පළමු රට ශ්‍රී ලංකාව බවත්, දෙවන රට චීලි රට බවද පැවැසීය. ශ්‍රි ලංකා ඖෂධ සංස්ථාව හරහා ලෝකයට සේනක බිබිලේ මැතිතුමා නව ප්‍රතිපත්තියක් හදුන්වා දුන් බවත් අද වනවිට ලංකාව පුරා ඖෂධ බෙදාහරින ඔසුසල් ජාලාවක් වන බව ද පැවසිය. විවිධ හැල හැප්පීම්, ප්‍රශ්ණ තිබුනත් ගෞරවනිය සෞඛ්‍ය සේවාවක් මෙරට පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමන් ඒ සදහා උපදෙස් ලබාදෙමින් විශාල කාර්යභාරයක් සිදු කරන බවද පැවසීය. ඉදිරියේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ඔසුසැල් 14 ක් කඩිනමින් ස්ථාපිත කිරීමට බලාපාරොත්තු වන බවත්, විශේෂ ඖෂධ ඔසුසලක් මහාචාර්ය සේනක සේනක බිබිලේ මහතාගේ ගම වන බිබිල ප්‍රදේශයේ පිහිටුවීමටත් බලාපොරොත්තු වන බව ද පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ, මොහාන් පී.ද සිල්වා මහතා කියා සිටියේ පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව කඩා වැටී තිබූ බවත්, ජනතාව අතර ඖෂධ සහ  සෞඛ්‍ය සේවාවට කුමක් ද සිදුව ඇත්තේ යන්න සැකසංකාවක් පැවැති බවත්, එවැනි අභියෝගාත්මක කාලයක රමේෂ් පතිරණ අමාත්‍යතුමාට සෞඛ්‍ය සේවාව බාර ගැනීමට ලැබුන බවත්, මේ රටේ සිටි අංක එකේ හොදම සෞඛ්‍ය අමාත්‍යවරයා එතුමා බව මේ රටේ ජනතාවට එතුමා පෙන්නුම් කර ඇති බවද පැවසීය. සියළු දේ ඉතා මැනවින් කළමණාකරණය කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කැපවී කටයුතු කරන බව ද පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඔසුසල් ජාලයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා මෙහිදී පැවසීය.

මින් මාස කිහිපයකට පෙර නවීන තාක්ෂණික උපාංග සමග නවීකරණය කරන ලද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ තත්ත්ව රසායනාගාරය කොළඹ 07 රාජ්‍ය ඔසුසැල් පරිශ්‍රය තුල දී විවෘත කෙරුණ අතර, සියළුම SPC ඖෂධ අවස්ථා 04 ක දි මෙම රසායනාගාරය තුළ දී නවීන තාක්ෂණය යටතේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඔසුසල හා විවෘත වෙළෙද පොලට යොමු කෙරේ. අද දින ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්  ඔසුසල පිහිටි පරිශ්‍රයේ පස්වරු 2.00 සිට ප.ව 5.00 දක්වා සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ, මොහාන් පී.දසිල්වා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ, අම්බලන්ගොඩ නගර සභා සභාපති කමල් වැල්ලගේ, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති, පළාත් සභා හිටපු මන්ත්‍රී වන්නිසාලිය මෙන්ඩිස් යන මහත්වරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.