Monday, October 21, 2024
Follow Us
 ත්‍රිකුණාමලය මහ රෝහලේ අඩුපාඩු සකස් කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකය, හෘද රෝග ප්‍රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කරන ලදී.

රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක ද ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම නිරත විය. එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 70ක  මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 75ක  මුදල් ප්‍රතිපාදන සහ වෛද්‍ය නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.   රෝහලට අවශ්‍ය හිඟ කාර්යමණ්ඩලය පියවීම සඳහා ඉදිරියේදි සෞඛ්‍ය සේවාවට බඳවා ගන්නා කාර්යමණ්ඩලවලින් යම්කිසි ප්‍රමාණයක් රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙස ද  උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම JAICA ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 1000ක වටිනාකමකින් යුත් හෘද රෝග ප්‍රතිකාර සඳහා භාවිත කරන Cath Lab (කැත් ලැබ්) අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක් දිස්ත්‍රික් මහ රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි මූලික වැඩකටයුතු කඩිනමින් ආරම්භ කර ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිරි මහත්මියට මෙහිදී උපදෙස් දෙන ලදී. 

 

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් පදවි ශ්‍රීපුර ප්‍රාදේශිය රෝහලේ ඉදි කරන ලද බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත කිරීම ද  ඊයේ  සිදුවිය. 

කන්තලේ මූලික රෝහල විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් එම රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට පියවර ගන්නා ලදී. එම මුදල් කඩිනමින් රෝහලට ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ නිලධාරීන් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබාදුන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ හිඟය පියවීමට ඉදිරියේදි බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් අවශ්‍යතාවය මත යම්කිසි පිරිසක් අනුයුක්ත කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබාදෙන ලදී.

මෙම රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම රජයේ රෝහල් වල පවතින තත්වය හා එම රෝහල් සංවර්ධනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්ද ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 5 කට ආසන්න ජනගහනයක් ජීවත්වන අතර එම ජනතාවට එක් මහ රෝහලකින් , මූළික රෝහල් හතරකින් , දිසා රෝහල් 14 කින්, ප්‍රාදේශීය රෝහල් 17 කින් , ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 12 කින් සුව සේවාව සපයනු ලබයි.