Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලාංකිකන් රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවයි

නීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ  රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති  ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්,  ඔවුන් ගිය දිනයන්,  ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම් අදාළ අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.

තව ද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේ නම් එම විස්තර ද ඉහත දුරකථන අංකය වෙත ලබා දෙන මෙන් ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.