Monday, October 21, 2024
Follow Us
නාවික හමුදාව දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගියදා (03) සිදු කෙරිණි.

තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මඟින් එම ප්‍රදේශයන්හි ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවදානම වැළැක්වීමට හැකි විය.