Monday, October 21, 2024
Follow Us
අධිවේගී මාර්ග ජාලය කළමනාකරණයට පිහිටවූ සහස්යා "මග නැගුම මහ මැදුරේදී” විවෘත වෙයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි "මග නැගුම මහ මැදුර" පරිශ්‍රයෙහි හත්වැනි මහලෙහි විවෘත කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් ඉදිරියේදී සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම යටතට පත් කිරීමට නියමිත අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකර නඩත්තු කර පවත්වාගෙන යාමේ කාර්යභාරය ඉටු කරනු ලැබුවා. නමුත් මතුව තිබෙන තත්ත්වය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන  ජාතික වැඩසටහන යටතේ අධිවේගී මාර්ග පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කර 100% රජය සතු ආයතනයක් ලෙස වශයෙන් සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම තුලින් වාණිජමය වශයෙන් වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් කටයුතු කර තිබෙනවා.100% රජය සතු, මුදල් අමාත්‍යංශය යටතේ ක්ෂණිකව ව්‍යාපාරික තීන්දු තීරණවලට එළඹීමේ ශක්‍යතාවයෙන් යුතු සමාගමක් ලෙස සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම ස්ථාපිත කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයායි. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කරන්නේද මාර්ග සංවර්ධන අධිකාරියේ දශක දෙකකට අධික කාලයක් පළපුරුදු සහිත ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවෙක්. මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය වන අධ්‍යක්ෂ මණ්ඩලයක් ඊට පත්කර තිබෙනවා. පවතින අධිවේගී මාර්ග පද්ධතිය පවත්වාගෙන යෑම, තවදුරටත් සංවර්ධනය සඳහා වන උපායමාර්ගික ක්‍රමවේද තීරණය කිරීම, පිරිවැය අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීමත් ඒ තුළින් ඵලදායි සහ කාර්යක්ෂම අධිවේගී මාර්ග පද්ධතියක් කරා රට යොමු කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථයයි.

අධිවේගී මාර්ග පද්ධතිය වෙනුවෙන් දැනට ගෙවීමට නියමිතව පවතින බිලියන 860 කට අධික ණය ප්‍රමාණය ගෙවා දැමීම සඳහා වාණිජමය වශයෙන් ඵලදායි ලෙස පවතින වත්කම් වඩාත් ප්‍රශස්ත ලෙස කළමනාකරණයේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. නමුත් සාම්ප්‍රදායික රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ එම අවශ්‍යතාවය ඉටු කිරීම අපහසු බැවින් වඩාත් ඵලදායි ලෙස තීරණ ගත හැකි රාජ්‍ය සමාගමක් ලෙස මේ ආයතනය ක්‍රියාත්මක වනු ඇති. එලෙස කටයුතු කිරීම තුළින් රටට බරක් නොවන, රටට සම්පතක් වන අධිවේගී මාර්ග පද්ධතියක් පවත්වාගෙන යා හැකිවනු ඇති.”