Monday, October 21, 2024
Follow Us
දීඝවාපිය සෑයේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම පිළිබඳ සැලසුම් කෙරේ

‘දීඝවාපි’ සෑ රදුන්ගේ ධාතු ගර්භයෙහි ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම පිලිබඳ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ‘දීඝවාපිය’ චෛත්‍යයේ ධාතු ගර්භයෙහි ඉදිකිරීම් සම්බන්ධව සහ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා හා නිධන් වස්තු තැන්පත් කිරීමට අදාල සැලසුම් පිලිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙයි.

බුදු රජාණන් වහන්සේ වැඩම කළ දීඝවාපිය බෞද්ධයන්ගේ පූජනීය සොලොස්මස්ථාන අතරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙස සැලකෙන අතර ‘දීඝවාපිය’චෛත්‍යයේ ධාතු ගර්භයෙහි නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා ජීවිතයේ එක්වරක් පමණක් දායක විය හැකි එම මහඟු පුණ්‍යකර්මය උදෙසා දේශීය මෙන්ම විදේශීය සැදැහැවත්දායක දායිකාවන් හට අවස්ථාව උදාකර දීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත.

ජෙනරල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ ‘දීඝවාපිය’චෛත්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ‘දීඝවාපිය’ චෛත්‍යයේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා හා නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවයට සමගාමීව එහි අභිනවයෙන් ගොඩ නැගෙන බුද්ධමන්දිරය සහ විශ්‍රාම ශාලාව ද එදිනම සැදැහැවත් බෞද්ධ ජනයා වෙනුවෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් මෙහිදී උපදෙස් ලබා දුන්නේය

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, අධ්‍යක්‍ෂක (වාස්තු විද්‍යා සංරක්‍ෂක) ප්‍රසන්න බී රත්නායක මහතා, ව්‍යාපෘතිභාර ජ්‍යෙෂ්ඨ නිලධාරී කර්නල් සංජීව සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ නිර්මාණ ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.