Monday, October 21, 2024
Follow Us
බෝ නොවන ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ අරමුණක්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (04) ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කරන්දෙණිය, ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.


විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට වසංගතයක් මෙන් පැතිර යන බෝනොවන රෝග, වකුගඩු රෝග වැනි රෝග හේතුවෙන් ප්‍රතිකාර සේවාවන් සදහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.


එවැනි රෝගීන් කල්තියා හදුනාගෙන ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කර, එම රෝගවලින් ජනතාව මුදවාගෙන දැනුවත් කිරීමට අවශ්‍යතාවයක් ඇති බවත්, මෙවැනි අක්ෂි, දන්ත, ආයුර්වේද ඇතුලු සායන රැසකින් සමන්විත ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීම එවැනි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගන්නා එක් ක්‍රියාමාර්ගයක් බව ද පැවසීය.


ඉතාමත්ම ඉහළ සෞඛ්‍ය සේවාවක් පවතින අප රටේ ජීවත්වීමේ ආයු අපේක්ෂාව ද ලෝකයේ දියුණු රටවල මෙන් ඉහළ මට්ටමක පවතින බවත්, නමුත් අපේ ජිවිතවල අවසන් කාලය විවිධ රෝගාබාධ වලට ගොදුරුව සතුටින් අවසන් කරන්න නොහැකි නම් ඉන් ප්‍රතිඵලයක් නොමැති බව ද පැවැසීය. මාතෘ හා ළදරු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුව ද වයස්ගත ජනතාව රැකබලා ගැනීමේ වැඩපිළිවෙලේ දී පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන මෙරට සෞඛ්‍ය සේවාවේ එම තත්ත්වය වැඩිදියුණු කළ යුතු බව ද පැවැසීය.


වසර 450 ක් වෙනත් රටවල් 03 කට යටත්ව සිටි අප රට වැනි රටක් මෙම කලාපයේ නොමැති බවත්, පරම්පරා 15 ක් 20 ක් පරදේශීන් යටතේ ජිවත්ව පසුගිය වසර 75 තුල විශිෂ්ඨ සංවර්ධනයක් ද අත්කර ගෙන ඇති බව ද පැවසූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ වසරේ කරාපිටිය රෝහල සංවර්ධනයට රුපියල් කෝටි 200 ක්, ඇල්පිටිය රෝහල සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100 ක් ලබා දී ඇති බවත්, ප්‍රදේශයේ කුඩා රෝහල් සහ සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.


කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය රෝහල ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සායනයෙන් ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා ඇල්පිටිය, ඉපන්කන්ද, වතුගෙදර, ඇතුළු අවට ග්‍රාම නිලධාරී වසම්වල විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.