Monday, October 21, 2024
Follow Us
මාතර දිස්ත්‍රික් මහ රෝහලට අති නවීන CT Scanner  යන්ත්‍රයක්

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම  ඊයේ (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ  මාතර දිස්ත්‍රික් මහ රෝහලට ලබාදීමට කටයුතු කර ඇත. මෙම නව CT Scan යන්ත්‍රය මගින් දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට  CT Scanner  පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

පැරණි CT Scanner යන්ත්‍රය වසර 17 ක් පමණ පරණ  CT Scanner යන්ත්‍රයකි.

මඩකළපුව සහ අනුරාධපුර රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලද යන්ත්‍ර කොටස් උපයෝගී කරගෙන වසර දෙකක් වැනි කාලයක් තිස්සේ දිනකට CT Scanner පරීක්ෂණ 50 ක් පමණ එමගින් සිදු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සංවර්ධන කටයුතු ද මෙහිදී නිරික්ෂණය කරන ලද අතර, අනතුරුව රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවාවන් පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක්විය. 

එහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසු රෝහල් 40 කට පමණ ගොස් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් නිරීක්ෂණය කළ බවත්, 2024 වසරේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 35 ක් ලබාදීමට කටයුතු කළ බවයි. 

නමුත් තවත් රුපියල් මිලියන 20 ක මුදලක් රෝහලට ලබා දීමට කටයුතු කරන බව ද, මාතර නව රෝහලේ ඉදිරි කටයුතු සදහා ලබන වසරේ රුපියල් බිලියනයක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

ලබාදෙන මුදල් වලින් සිදු කරන සංවර්ධන කටයුතු නිතර අධීක්ෂණයට ලක් කරන ලෙසත්, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ වැනි භෞතික සම්පත් ද, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද මානව සම්පත් හිඟයට ද කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

මාතර දිස්ත්‍රික් මහ රෝහල අක්කර 08 ක භූමිභාගයක පිහිටා ඇත. 

ඇදන් ධාරිතාව 851 කි. 

වාට්ටු හා රෝගී ඒකක 32 කින් යුක්ත වේ.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ඒ.ඩී.යූ කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරු මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.