Tuesday, October 22, 2024
Follow Us
උතුරු දුම්රිය මාර්ගයේ ගැටලු කඩිනමින් විසදීමට උපදෙස්

යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන විට රාංජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් තිබිය යුත් බවත් එම සංවර්ධන වැඩ සටහන් අවසන් වන විට එය ජනතාව පීඩාවට පත්වන අයුරින් අවසන් නොවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

එහි දී දුම්රිය මාර්ගය පැවැති මට්ටමට වඩා අඩි දෙකක් පමණ නවීකරණයේ දී ඉහළ එසවීම හේතුවෙන් ජලය බැසයාම, හරස් මාර්ග රථවාහන ගමනා ගමනයට අපහසු වන පරිදි අනවශ්‍ය ප්‍රමාණයට ඉහළට එසවී තිබීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. එහි දී අනාවරණ වූයේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලු මතුව ඇති බවයි.

දුම්රිය මාර්ගය නවීකරණයට පෙර ඒ සම්බන්ධයෙන් වන අවශ්‍යතා විමසා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ආයතන වෙත ලිඛිත දැනුම් දීම් කර තිබුණ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් සිය නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර සිදූ වූ ප්‍රමාදයක් පිළිබඳ එක් එක් පාර්ශ්වවලට චෝදනා නොකර මේ මොහොත් ජනතාව වෙනුවෙන් ඊට වඩාත් ම ප්‍රායෝගික විසඳුම ලබා දිය යුතු බවයි. ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ ඉල්ලීම් සහ ඊට ලබා දිය හැකි විසඳුම් මොනවා ද යන්න තාක්ෂණික කරුණු ඇතුළත් තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකඟතාව පළ කළේ ය.