Tuesday, October 22, 2024
Follow Us
නුගේගොඩ අනුලාවේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල රැස්වීම පවත්වයි  

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ‘පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය’ යන මැයෙන් ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන ලදී.  

ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ සම්ප්‍රදායන් පිළිබද දැනුම ප්‍රායෝගික අත්දැකීම් සහිතව වඩාත් සරලව මෙහි දී ඉදිරිපත් කෙරිණි. 

එසේම පාසැල් අවධියේ සිටම පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් පැවතීමේ වැදගත් බව පිළිබඳ මෙහි දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා අවධාරණය කරන ලදී.

එසේම අනුලා විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙක් වන දැනට පාර්ලිමේන්තුවේ ප්‍රධාන හැන්සාඩ් සංස්කාරකවරිය ලෙස කටයතු කරන නයනි ලොකුකොඩිකාර මහත්මිය ද හැන්සාඩ් සංස්කරණය පිළිබඳව මෙහි දී දේශනයක් පවත්වන ලදි.

මෙහි දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ අතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට නිල ලාංඡන පැළඳවීම සහ සහතික පත් ප්‍රදානය ද සිදු කරන ලද අතර එම විදුහල් පුස්තකාලයට ග්‍රන්ථ ප්‍රදානය කිරීමක් ද සිදුවිය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය සංවිධාන කළ මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමනාකරු නිම්මි හාතියල්දෙනිය, නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය එම්.ආර්.එස්. අයිරාංගනී, නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන යසංකා නෙරංජනී පියදිගමගේ යන මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.