Tuesday, October 22, 2024
Follow Us
ජනාධිපති පරිසර සම්මාන 2024” සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 15 වැනිදායින් අවසන්

“ජනාධිපති පරිසර සම්මාන - 2024” වැඩසටහන සඳහා මේ වන විට අයඳුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති අතර අයඳුම්පත් කැඳවීම 2024 මාර්තු මස 15 වැනිදායින් අවසන් වේ.  එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.

“කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය(16) කි. ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරි සැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන හා රූපලාව්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, සත්ත්ව ගොවිපළවල්, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ කර්මාන්ත ශාලා, මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත, ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති (කුඩා පරිමාන ජල විදුලි ව්‍යාපෘති/ සූර්ය බල ව්‍යාපෘති/ සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති), පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යනු “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු  අංශ  දහසය යි.

“ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අට(08) කි. පාසල්, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති පුද්ගලයින්, පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධන කාර්යන්හි කටයුතු කරන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන/ විවෘත අංශය), ජනමාධ්‍ය අංශය (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා” ලෙස මෙහි අංශ දෙකකි) යනු එම අංශ අට යි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකතන අංකවලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයඳුම්පත් සහ වැඩි විස්තර ලබා ගත හැකිය. තවද 0706725222  යන  දුරකතන  අංකයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය ඇමතීමෙන් ද 0713486339 යන දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන (රන් සම්මාන), රිදී පරිසර සම්මාන,  ලෝකඩ  පරිසර  සම්මාන  සහ  කුසලතා  සම්මාන ආදී  ලෙස වූ සම්මාන හිමිකර  ගැනීමට  “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.