Tuesday, October 22, 2024
Follow Us
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි.

මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණ වී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දෙවැනි අදියරේ අයදුම්පත් කැඳවීම ආරම්භ කළ පෙබරවාරි මස 15 සිට ඊයේ (27) දින දක්වා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 30,000කට ආසන්න වන අතර ඉන් 8,750ක් අයදුම්පත් යොමු කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් වන අතර සෙසු පිරිස ඍජුවම අන්තර් ජාලය මඟින් අයඳුම් කර ඇති බව අමාත්‍යවරයා පැවැසීය.