Tuesday, October 22, 2024
Follow Us
 ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකාවේ විද්‍යා හා තාක්ෂණික විෂය ධාරාව

ශ්‍රී ලංකාවේ පළමු බාලිකා විදුහල වන  බේරුවල මරදාන අල්ෆාසියාතුල් නශ්‍රියා මුස්ලිම් බාලිකා මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවය සහ ඒ වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය එළිදැක්වීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

1924 වසරේ ආරම්භ කෙරුණු විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් රුපියල් 25ක් වටිනා මුද්දරයක් සහ මුල් දින කවරයක්‌ එළිදැක්වීම මෙහිදී සිදුවිය.

උත්සවය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජනාවාසය වූ, ප්‍රථම ඉස්ලාමීය දේවස්ථානය පිහිටියා වූ  ඓතිහාසික බේරුවල පුරවරයේ ලංකාවේ පළමු ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමුරු මුද්දරයක් නිකුත් කිරීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්.

මෙරට ව්‍යවස්ථා දායකයේ, පාර්ලිමේන්තු කතා නායක ධූරයෙහි වූ වගකීම ඉසිලු අප ගරු කරන මුස්ලිම් ජාතික කතානායකවරුන් දෙදෙනෙකු අපට මුණ ගැසෙනවා. ඉමිතියාස් බාකීර් මාකර්  මැතිතුමාගේ පියා වන බාකිර් මාකර් මහතා සහ එම් එච් මොහොමඩ් මහතා එම කථානායකවරුන් ඉතාමත් උසස් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීම සඳහා කටයුතු කළා. වෛරයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජන කොටස් සමානාත්මතාවය මත පදනම්ව එකම රටක දරුවන් ලෙස සිතීමේ පාලම තැනීම සඳහා ඉමිතියාස් බාකිර් මාකර් මහතාද විශාල මෙහෙවරක් ඉටුකළා.

ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඩෙලා වරක් පවසා තිබෙනවා. වසර සියයක් සපිරෙන මෙම පාසල ඒ ඉතිහාසය පුරාවටම මුහුණ දුන් අධ්‍යාපනයේ ප්‍රධානතම අර්බුදයක් වූයේ ගුරුවරුන් ඇතුළු පහසුකම්වල හිඟයයි. බොහෝ ගම්බද ප්‍රදේශවල සිසුන් ගුරුවරුන්ගේ හිඟය ඇතුළු  තත්ත්වයන් මත උසස් පෙළ සඳහා වැඩි වශයෙන් යොමු වුණේ කලා අංශයෙන්. ඒ අනුව විශ්ව විද්‍යාලවලින් බිහි වූ කලා උපාධිධාරීන්ට සරිලන රැකියා වෙළඳපොලක් පැවතුණේ නැහැ, පවතින රැකියා වලට ගැලපෙන උගතුන් බිහි වූයේ නැහැ. තමන් ලද අධ්‍යාපනයෙන් ජීවන උපායක් සලසා ගැනීමට නොහැකි වූ බොහෝ තරුණ පිරිස් තම දෙමව්පියන්ට, සමාජ ක්‍රමයට, රටට වෛර කරන පිරිසක් බවට පත්වුණා. ඒ වෛරය පුපුරා යම් තුලින් බොහෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගවලට ඔවුන් පෙළඹුණා. නූගත් සමාජයක් තුළ වෛරය පැතිරවීම ඉතාමත් පහසුයි. නිදහසින් පසු දශක තුනකට අධික කාලයක් එවැනි යුදමය වාතාවරණයක අත්දැකීම් වර්තමාන සමාජයේ සියලු දෙනාට පවතිනවා. ඒ තත්වය බිහිවීමට ප්‍රධාන වග උත්තරකරුවෙකු වන්නේ පැවති අධ්‍යාපන ක්‍රමය බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස මා විශ්වාස කරනවා.