Tuesday, October 22, 2024
Follow Us
සමනලවැල ජලකාන්දුව නැති කිරීමේ මුවාවෙන් කරන ව්‍යාපාරයක් හෙළි වෙයි
  • කලාපය තු න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇතිවුව‍හොත් එම විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට  ශ්‍රී ලංකාව සුදානම් - නිලධාරීන්  කාරක සභාවට දන්වයි
  • සුහුරු විදුලි මීටර (Smart electricity meter) ලබා ගත් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කර නැවත සබඳතාවය ලබාදීමේදී කිසිදු මුදලක් අය කරන්න එපා - කාරක සභාවෙන්  නිර්දේශයක්

 දිගු කාලයක් පුරා  සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව  නතර කල නොහැකි බව  ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීහු  බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක  සභාවට දැන්වූහ.

දිගින් දිගටම ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු  හෝ ප්‍රතිඵලයක්   ලබාගත නොහැකි වී ඇති බවද  ඔවුහු  කාරක සභාවට අවධාරණය කළහ. මෙම ජලකාන්දුව වැළක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන්  ක්‍රියාත්මක වන  බවද එම නිලධාරීහු කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ. 

මෙම කරුණු අනාවරණය වුයේ  බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාවේදී ලංකා විදුලි  පුද්ගලික සමාගමේ 2021 වසරේ වාර්ෂික වාර්තාව , ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ 2018,2019,2020, සහ 2021 යන වර්ෂ වල වාර්ෂික වාර්තා සළකා බැලීම  සිදු විය.

මේ අතර වර්තමාන වන විට මෙරට තුළ සුහුරු විදුලි මීටර (Smart electricity meter)  ලබා ගත් විදුලි පාරිභෝගිකයින් හැට දහසක් පමණ සිටින බවත් මේ වසර තුළ තවත්  සුහුරු විදුලි මීටර තිස් දහසක්  සවි කිරීමට අපේක්ෂා කරන බව  නිලධාරීහු කරක සභාවට දැන්වුහ. මෙහිදී  සුහුරු විදුලි මීටර (Smart electricity meters)  ලබා ගත් විදුලි පාරිභෝගිකයින්  ගේ  විදුලිය විසන්ධි  කර  නැවත එම  සබඳතාවය ලබාදීමේදී  මුදල් අය  කිරීමකින් තොරව එම සබඳතාව ලබා දෙන ලෙස කාරක සභාවෙන් නිර්දේශයක් එම නිලධාරීන්ට ලබාදෙන ලදී.

පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීහු ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව මෙහිදී කාරක සභාව දැනුවත් කලහ. එහිදී  කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇතිවුව‍හොත් ඉන් ඇතිවන  විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බව එම නිලධාරිහු  වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.

මෙහිදී අනාගතය උදෙසා බලශක්තිය සුරක්ෂිත කිරීමට හා බලශක්ති අර්බුදයක් ඇති  නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග  පිළිබදව ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. එහිදී  මෙරට පුනර්ජනනීය  බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ක්‍රියාත්මකවීමේ වැදගත්කම පිළිබඳව නිලධාරීහු විසින් දීර්ඝ ලෙස කරුණු දැක්වුහ.එමෙන්ම නව ව්‍යාපෘති ආරම්භ කිරීමේදී  ආයතන ගණනාවකින් අනුමත කිරීම්  ලබාගැනීමට පවතින බැවින් ඒ සඳහා ගතවන කාලය දීර්ඝ වන බවත් එම කාලය අඩු කරගැනීමේ වැදගත්කම ද කාරක සභාවේ අවධානයට  යොමුකරන ලදී. 

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, කුමාරසිරි රත්නායක, යදාමිණි ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.