Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ දී ක්‍රියාත්මක කෙරිණ. න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන විට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි අරමුණ යි.

ශ්‍රී ලංකාවේ පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමේ දී පාර්ශවකාර ආයතන ලෙස කටයුතු කරන ආයතන දාහතක පමණ නියෝජතයෝ මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

අන්තර් ජාතික පරමාණු බලශක්ති ආයතනයේ (International Atomic Energy Agency - IAEA) උපදේශකවරයෙකු වන න්‍යෂ්ටික බල ශක්තිය පිළිබඳ විශේෂඥ ආචාර්ය හලිල් අවුසි (Halil Avci) මහතා මෙහි දී දේශන පැවැත් වූයේය.

 යම් රටක් තුළ න්‍යෂ්ටික බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳව එම රටේ රජය තීරණය කළ යුතු බවත් රටක් න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් ඊට අදාළ නීතිමය පසුබිමක් සැකසීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කළ යුතු බවත් ආචාර්ය හලිල් අවුසි මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.