Tuesday, October 22, 2024
Follow Us
වැඩ කල්දැමීම වෙනුවට හැකි ඉක්මනින් ඊට සූදානම් වී රාජකාරියට පිවිසෙන්න

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන්හි  සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

තමන්ගේ දක්ෂතාවය හා ජ්‍යෙෂ්ඨත්වය උඩ සුදුසුකම් ලබා තිබෙන ඔබ සියලු දෙනාට ඔබගේ සතුට සමග අපගේ සතුට, ආශිර්වාදය එක් වෙනවා. රාජ්‍ය සේවයේ වගකීම සාමාන්‍ය පෞද්ගලික සමාගමකට වඩා බරපතලයි.

රාජ්‍ය සේවයට ඇතුළුවන මොහොතේ සිට රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු, ආයතන සහ මුළු මහත් රාජ්‍ය සේවයේ කටයුතු සමගින්  ඔබ සියලු දෙනා රට වෙනුවෙන් සේවයට එක්වෙනවා. එම ගැඹුරු වගකීම ඉටු කිරීම සඳහා වූ ගමනේ  සියලු කර්තව්‍යන්ට පූර්ව සූදානම් වීමේ වැදගත් කොටසක් තිබෙන බව මතක් කරන්නට කැමතියි. අපි සාකච්ඡාවකට යනකොට හෝ උදව් කරනකොට ඒ පිළිබඳ මූලික සූදානමක් තිබිය යුතුමයි. ඒ සඳහා වූ තොරතුරු එක් රැස්කර ගත යුතුයි. වැඩ කල්දැමීම නොව හැකි ඉක්මනින් ඊට සූදානම් වීමේ කර්තව්‍යයට පිවිසිය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 වර්ෂය තුළ සංවර්ධනයේ තවත් අඩියක් ඉදිරියට තිබෙන වසරක් බවට පත් කරන්නට කැප වී අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමට අද දින මේ පැවරෙන වගකීමේ සාර්ථකත්වය  ඔබෙන් අපේක්ෂා කරනවා. සෘණ තත්ත්වයේ තිබුණ ආර්ථික සංවර්ධනය ධන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ ජනතාවගේ, රාජ්‍ය සේවයේ,  රාජ්‍ය සේවයට අයත් නොවන ගොවි ජනතාවගේ සහයෝගය මතයි මේ කර්තව්‍යය ඉටුවී තිබෙන්නේ.

වැඩි වැඩියෙන් රටේ සංවර්ධනයේ ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන්   කැපවෙන ලෙස රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

මෑත කාලයේ මැලේසියාව ආර්ථික වශයෙන් කඩා වැටුණා. එරට ආයෝජනය කළ දැවැන්තයන්  මැලේසියානු ආයෝජනයෙන් ඉවත් වෙලා යන නිසා.  නමුත් මැලේසියාව ඒ අර්බුදයට සාර්ථකව මුහුණ දුන්නා. තමන්ගේ ශක්තින් එකතු කරලා මැලේසියානු ආර්ථිකය, මැලේසියානු රාජ්‍යය පරිපාලනය ඉතාම දියුණු තත්ත්වයකට ගෙනාවා.

ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කළ නව වැඩපිළිවෙළ රාජ්‍ය පරිපාලනය හරහා ඉදිරියට ගමන් කරන්නට පළාත් පාලනය, රාජ්‍ය පුස්තකාලයාධිපති සේවය එකතු වෙනවා. ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවය හා රාජ්‍ය පුස්තකාල සේවයට අතිරේකව පරිපාලනයට සම්බන්ධව තිබෙන අපේ රටේ පළාත් පාලන පුස්තකාල මීට වඩා දියුණු විය යුතුයි.  එය දියුණු කර ගැනීමට පුළුවන් නිර්මාණශීලීභාවය ඇති කරන්න.   2024 ඔබ එකතු වන පළාත් පාලන හෝ රාජ්‍ය පුස්තකාලයන් 2023 මට්ටමින් බලන්න එපා. මෙම වසර අලුත් දෙයක් එකතු කිරීමේ වසර බවට පරිවර්තනය කිරීමේ අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු අරඹන්න.

රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොට පක්ෂ හිතවත්කම් තියෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවයේ කර්තව්‍ය රටේ යහපත පිණිස අරගන්න. මේ දුෂ්කර කාල පරිච්ඡේදයෙන් අපි එළියට එන වෙලාවේ එය සාර්ථකව ඉදිරියට ගමන් කරවන්නට ඔබ සැමගේම සහය ලබා දෙන්න.