Tuesday, October 22, 2024
Follow Us
අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් කැඳවීම හෙට ඇරැඹේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇති බවත් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකයන්ට යටත්ව පරීක්ෂා කරන බව හා හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 

පළාත් සභා නිලධාරින් අස්වැසුම වැඩසටහන සඳහා සහභාගි කර ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුව සඳහා පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සමාජ සුබසාධන ක්‍රියාවලියට වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන පළාත් සභා නිලධාරීන් සහය අස්වැසුම දෙවැනි අදියරට ලබා ගැනීම තුළින් වඩාත් සුදුසු පිරිස ඊට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බවත් විශේෂයෙන් ම සමාජ සේවා විෂය සඳහා පළ පුරුදු කාර්ය මණ්ඩලයක පළාත් සභා තුළ සිටින බවත් ඔවුන්ගේ මැදිහත් වීම තුළින් වඩාත් සාර්ථක ලැයිස්තුව අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් සකස් කිරීමට හැකියාව ලැබුණු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පළමු අදියරේ සිදු වූ යම් දුර්වලතා මගහරවා ගැනීම තුළින් මිලියන 2.4ක් වූ පිරිසක් දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තෝරා ගැනීමට නියමිතය. 

දැනට ප්‍රතිලාභ ලබන මිලියන දෙකකට ආසන්න පිරිස ඉක්මවා පිරිසක් සුබසාධන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම මැතිවරණ ඉලක්ක කර සිදු කරන දේශපාලන ක්‍රියාවලියක් බවට එල්ලවන ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප කරන අතර වඩාත් විනිවිධභාවෙයන් යුතු මෙම ක්‍රියාවලියට මැදිහත්වීමට කිසිදු දේශපාලනඥයකුට නොව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පවා නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම ලබන 15 ආරම්භ කරනු ලබන අතර ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මස සිට සිදු කිරීමට නියමිත ය. 

දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

විරෝධතා සහ අභියාචනා සලකා බැලීමේ කටයුතු 90%ක් මේ වන විට අවසන් බවත් ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටි පුද්ගලයන් 9,122ක් නුසුදුස්සන් බවට පත් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. 

කිසියම් පාර්ශ්වයක් සාවද්‍ය තොරතුරු මත ප්‍රතිලාභ ලබා ඇත්නම් ඒවා නැවත අයකර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.