Tuesday, October 22, 2024
Follow Us
මත් පෙති විකුණු දොස්තර පොලිසියට කොටුවෙයි

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

වෛද්‍යවරයාට කළ ඇනවුමකට අනුව වර්ග දෙකකට අයත්  වේදනා නාශක පෙති වර්ග 1600ක් රුපියල් 160,000කට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේදී නාවලපිටිය පාරේ ක්‍රිස්බෝ ආයතනය ඉදිරිපිටදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

සිය සුඛෝපභෝගී මෝටර් රථයේ දමාගෙන ඔහු මෙම වේදනා නාශක ඖෂධ වර්ගය රැගෙන විත් තිබේ.

ගෙලිඔය කරමඩ පදිංචිකරුවෙක් වන 49 හැවිරිදි මෙම වෛද්‍යවරයා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

සුවිසල් නිවසක්ද ගෙලිඔය ඉදිකර සුඛෝපභෝගී වාහන කිහිපයක්ද පරිහරණය කරමින් මෙම වෛද්‍යවරයා සැපවත් ජීවිතයක් ගතකරන අයෙක් බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

මෙම වෛද්‍යවරයා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යන්නෙක් බවද පොලීසිය  කියයි.

Dinamina